26.6 C
Galle

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට වෛද්‍යවරු පස්දෙනෙක්

Published:

අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී මියගොස් සිටියදී සොයාගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ගේ මරණය සැකකටයුතු බැවින් ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ඉදිරියේ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.

කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ තිබී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද උදෑසන සොයා ගැනුණි. ඔහුගේ ඥාතියෙකු වන එම නිවැසියන් සමඟ රාත්‍රිය ගත කර තිබූ බව සඳහන් වේ.

අද පෙරවරුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නීතිඥවරයෙකු එම නිවසට පැමිණි අවස්ථාවේදී, කාමරය වසා තිබීම හේතුවෙන් නිවැසියන් සතු අමතර යතුරකින් එය විවෘත කර තිබේ. එහිදී ඔහු බිම වැටී සිටින අයුරු දැක පොලිසියට දැනුම් දී ඇත. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද දහවල් එම නිවසට පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදු කළ අතර, සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

2013 වසරේ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කපිල චන්ද්‍රසේන, ඉකුත් මැයි 05 වනදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබුණි.

කෙසේ වෙතත්, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනෙකු ව්‍යාජ පුද්ගලයන් බව අනාවරණය වීමත් සමඟ අධිකරණයේ විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) වරෙන්තු නිකුත් කර තිබුණි. මෙම මරණය සිදුව ඇත්තේ එම වරෙන්තුව ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පසුබිමකය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය බිරිඳගේ වැඩිමහල් සහෝදරියට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීම මැයි මස 12 වනදා සිදු කිරීමට නියමිතය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related articles

error: Content is protected !!