ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී මියගොස් සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවයි. මෙය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සඳහන් කරන අතර කොල්ලුපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ප්‍රශ්නගත එයාර් බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතා මෑතකදී ඇප මත මුදාහැර සිටියේය.
කෙසේ වෙතත්, ඔහු අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඊයේ (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරන ලදී. එම මෝසම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා, ඔහුගේ ඇප අවලංගු කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ දිනයේම නියෝගයක් නිකුත් කර තිබුණි.
මෙලෙස යළි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර ඔහුගේ සිරුර මෙසේ හමුවීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන අතිවිශාල මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස කපිල චන්ද්‍රසේන මහතා නම් කර තිබුණි. ජාත්‍යන්තර අවධානයට පවා ලක්වූ මෙම නඩුව සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම විමර්ශන ක්‍රියාත්මක විය.
සැළකිය යුතුයි
සියදිවි නසා ගැනීම් වාර්තා කිරීම, සියදිවි නසාගැනීමට තවත් අයකු පෙළඹවීමට හේතුවක් වන බව විශේෂඥයන්ගේ මතයයි. එමෙන් ම සියදිවි නසාගැනීම් වාර්තාකරණය මාධ්‍ය මගින් නොකළ යුතුයැයි ස්වයං නියාමනයක් ද තිබේ. අප rata.lk වෙබ් අඩවිය ඒ නිසා සියදිවි නසාගැනීම් වාර්තා කරන්නේ නැත. නමුත් මෙම අවස්ථාවේ දී දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ද යැයි ප්‍රශ්නගත පුද්ගලයෙකුගේ ප්‍රවෘත්තියක් බැවින් මෙම සිද්ධිය අප වාර්තා කළෙමු.
යමෙකුට සියදිවි නසාගැනීමේ අදහසක් ඇතිවන්නේ නම් හෝ සමීපතමයකු එවැනි දෙයකට පෙළඹවීමක් ඇතැයි සිතෙන්නේ නම් වහාම ඔහු හෝ ඇය මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඉතාමත් වැදගත් සහ අත්‍යාවශ්‍ය කරුණකි.
උපකාරක සම්බන්ධතා.
හදිසි ඇමතුම් අංකය – 1333
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926
(දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


