ළමුන් සහ යෞවනයන් කෙරෙහි සමාජ මාධ්‍ය ජාලාවලින් සිදුවන අයහපත් බලපෑම් සහ මානසික සෞඛ්‍ය ගැටලු පාලනය කිරීමේ අරමුණින්, වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් පැවැත්වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පියවර ගෙන තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා අනුමත කරන ලද නව යෝජනාවකට අනුව, අවුරුදු 15ට අඩු ළමයින්ට තමන්ගේම කියා පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම, භාවිත කිරීම හෝ පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි. මේ අනුව ඔවුන්ට කිසිදු සමාජ මාධ්‍ය ජාලයක සටහන් (Posts) තැබීමට, අදහස් (Comments) පළ කිරීමට, වෙනත් දෑ හුවමාරු කර ගැනීමට (Share) හෝ පොදු සමූහ (Public groups) වෙත සම්බන්ධ වීමට නොහැකි වනු ඇති බව එරට රජයේ මාධ්‍ය කාර්යාලය පවසයි.
නව නීති මාලාවට අනුව වයස අවුරුදු 15 සහ 16 පසුවන යෞවනයන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීමට අවසර ලැබුණද, ඒ සඳහා දැඩි ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වේ. ඒ අනුව, ඔවුන්ගේ වයසට ගැළපෙන අන්තර්ගතයන් (Content) පමණක් පාලනය කර පෙන්වීම, නන්නාඳුනන පරිශීලකයන් සමඟ සම්බන්ධ වීමට ඇති ඉඩකඩ සීමා කිරීම, තිර කාලය (Screen-time) කළමනාකරණය කරන මෙවලම් සහ මව්පියන්ගේ අධීක්ෂණ විශේෂාංග (Parental supervision) ඊට ඇතුළත් විය යුතුය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන සියලුම සමාජ මාධ්‍ය සමාගම් විසින් මෙම නීති රීති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. එහිදී හුදෙක් පරිශීලකයා විසින් තමන්ගේ වයස සඳහන් කරන ක්‍රමය (Self-declaration) පිළි නොගැනෙන අතර, ඒ වෙනුවට ඩිජිටල් අනන්‍යතා පරීක්ෂාවන් (Digital identity checks) සහ කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත තාක්ෂණයන් භාවිත කරමින් පරිශීලකයන්ගේ වයස නිවැරදිව තහවුරු කරගත යුතුය.
මීට අමතරව, වයස අවුරුදු 15ට අඩු ළමයින් විසින් දැනටමත් සකස් කර ඇති ගිණුම් වහාම අක්‍රීය කිරීමට සමාගම් පියවර ගත යුතුය. එමෙන්ම, දරුවන්ගේ පුද්ගලික දත්ත භාවිත කරමින් ඔවුන් ඉලක්ක කර දැන්වීම් ප්‍රචාරය කිරීම (Targeted advertising) හෝ ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම (Behavioural profiling) සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
මෙම නව රෙගුලාසිවලට අනුගත වීම සඳහා සමාජ මාධ්‍ය සමාගම් වෙත මාස 12ක උපරිම කාලයක් ලබා දී තිබේ. ළමුන් නුසුදුසු අන්තර්ගතයන්ට නිරාවරණය වීම වැළැක්වීම, අන්තර්ජාලය හරහා සිදුවන අනාරක්ෂිත සබඳතා සහ අධික ලෙස සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ බව එරට රජය අවධාරණය කරයි.



