27.1 C
Galle

පෙරහරට ගෙනආ අලියා කුලප්පු වී ඇත්ගොව්වා සහ සහායකයා මරා දමයි

Published:

රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වනු ලැබූ වාර්ෂික පෙරහැරක් සඳහා රැගෙන විත් සිටි අලියෙකු එකවරම කුලප්පු වී සිදුකළ දරුණු පහරදීමකින් ප්‍රධාන ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා යන දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හස්තිපාලක ලෙස කටයුතු කළ සුනිල් ශාන්ත (කලු) සහ සහාය හස්තිපාලක ලෙස කටයුතු කළ ප්‍රවීන් මධුශාන් යන අයයි. ප්‍රහාරය එල්ල කළ මෙම අලියා ඇඹිලිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් බව වාර්තා වේ.

රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ 78 වන පොසොන් පෙරහැර (මිහිඳු පෙරහැර) වෙනුවෙන් පසුගිය 20 වන සෙනසුරාදා මෙම අලියාව රැගෙනවිත් තිබුණි. පෙරහැර කටයුතු අවසන් වීමෙන් පසු විහාරස්ථානය අසල බැඳ සිටි අලි දෙදෙනාගෙන් මෙම අලියාට ජලය ලබා දීම සහ දිය නෑවීම සඳහා සහාය ඇත්ගොව්වා විසින් අද (22) උදෑසන රක්වාන ගඟට රැගෙන ගොස් ඇත.

එහිදී අලියා එකවරම කුලප්පු වී සහායකයාව පාගා මරා දමා තිබේ. සහායකයාගේ මරණාධාර කෑගැසීමට ප්‍රධාන ඇත්ගොව්වා ද වහාම එම ස්ථානයට දිවගොස් ඇති අතර, එහිදී කුලප්පු වී සිටි අලියා ඔහුට ද දරුණු ලෙස පහර දී ජීවිතක්ෂයට පත් කර ඇත.

පහරදීමෙන් අනතුරුව අලියා විහාරස්ථානය අසල පිහිටි කුඹුරු යායකට පැන ගොස් රැඳී සිටි අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් අලියා පාලනය කර ගැනීමට පොලිසිය සහ වනජීවී නිලධාරීන් වහාම ක්‍රියාත්මක විය.

වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් දියත් කරන ලද දැඩි උත්සාහයකින් හා විශේෂ මෙහෙයුමකින් පසු, අද (22) දහවල් කාලයේදී අදාළ අලියාව නිර්වින්දනය කර ආරක්ෂිතව මෙල්ල කර ගැනීමට හැකි වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!