28.6 C
Galle

‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Published:

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා රජය ප්‍රමාණවත් පූර්ව සැලසුම් සහ ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 30 වැනිදා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) නියෝග කළේය.

මෙම පෙත්සම මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු වන කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් ගොනු කර තිබූ අතර, එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සමේ අන්තර්ගත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝබර් 30 වැනිදා වැඩිදුර සලකා බැලීම සඳහා නියම කෙරිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සහ අදාළ රාජ්‍ය ආයතන කිහිපයක් නම් කර තිබේ.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ “දිට්වා” සුළි කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග, ඉවත් කිරීමේ සැලසුම්, සහන සැලසුම් සහ අවදානම් කළමනාකරණ වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වූ බවයි.

එම නොසැලකිල්ල හේතුවෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂාව, සමානාත්මතාව සහ නීතියේ රැකවරණය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව, අනාගතයේදී මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයන් හමුවේ රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතු අවම ප්‍රමිතීන් සහ ක්‍රියාමාර්ග ඇතුළත් නිසි මාර්ගෝපදේශ මාලාවක් (Guidelines) සකස් කර ක්‍රියාත්මක කරන ලෙස රජයට උපදෙස් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටී.

නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මතු කෙරෙන්නේ ස්වාභාවික ආපදාවක් වැළැක්විය නොහැකි වුවද, එහි බලපෑම අවම කිරීම සඳහා රජය සතු නීතිමය සහ ව්‍යවස්ථාමය වගකීම් ඉටු වී තිබේද යන්න පිළිබඳ වැදගත් නීතිමය ප්‍රශ්නයක් බවයි.

ලබන ඔක්තෝබර් 30 වැනිදා පෙත්සම කැඳවනු ලබන්නේ එය වැඩිදුර විභාගයට ගැනීම සහ වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළ යුතුද යන්න ඇතුළු මූලික කරුණු සම්බන්ධයෙන් අධිකරණය සලකා බැලීම සඳහාය.

Related articles

spot_img
error: Content is protected !!