ඉතාලියේ ජෙනෝවා නුවර, 2018 වර්ෂයේදී, මොරාන්ඩි පාලම කඩා වැටීමෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ඛේදවාචකයට අදාළව වසර අටකට ආසන්න කාලයකට පසු ප්‍රකාශයට පත් කළ පළමු අධිකරණ තීන්දුවෙන්, ඉතාලියේ මෝටර්වේ ක්‍රියාකරු වූ Autostrade per l’Italia (ASPI) සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජියෝවානි කස්ටෙලුච්චි (Giovanni Castellucci) ට වසර 12ක සිරදඬුවමක් නියම කර තිබේ.
ජෙනෝවා අධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව යටතේ විත්තිකරුවන් 57 දෙනාගෙන් 32 දෙනෙකු වරදකරුවන් ලෙස තීරණය කර ඇති අතර, 25 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීම හෝ නීතිමය කාල සීමාව (Statute of Limitations) අවසන් වීම හේතුවෙන් චෝදනාවලින් නිදහස් කිරීම සිදු කර ඇත.
හිටපු ප්‍රධාන විධායක ජියෝවානි කස්ටෙලුච්චිට එරෙහිව පැමිණිල්ල වසර 28ක සිරදඬුවමක් ඉල්ලා සිටි නමුත්, අධිකරණය වසර 12ක සිරදඬුවමක් නියම කළේය.
එමෙන්ම,
හිටපු ජ්‍යෙෂ්ඨ මෝටර්වේ නිලධාරී මිෂෙල් ඩොන්ෆෙරි මිටෙල්ලිට වසර 11ක සිරදඬුවමක්,
ASPI හි හිටපු උප ප්‍රධානියා පාව්ලෝ බර්ටිට වසර 5යි මාස 6ක සිරදඬුවමක්,
Spea නඩත්තු සමාගමේ හිටපු ප්‍රධාන විධායක අන්ටෝනිනෝ ගලටාට වසර 5යි මාස 6ක සිරදඬුවමක්,
ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු මහාමාර්ග අධ්‍යක්ෂ මවුරෝ කොලෙටාට වසර 5ක සිරදඬුවමක්ද නියම කර තිබේ.
කස්ටෙලුච්චි මේ වනවිටත් 2013 වසරේ සිදුවූ තවත් මාර්ග අනතුරක් සම්බන්ධයෙන් නියම වූ වසර 6ක සිරදඬුවමක් විඳිමින් සිටී.
2018 අගෝස්තු 14 වැනිදා අධික වර්ෂාවක් අතරතුර මොරාන්ඩි පාලමේ විශාල කොටසක් කඩා වැටීමෙන් මෝටර් රථ සහ ලොරි රථ රැසක් මීටර් දස ගණනක් පහළට ඇද වැටී පුද්ගලයන් 43 දෙනෙකු මියගියහ.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමට වසර හතරක් ගත වූ අතර, නඩු විභාගය සඳහාද තවත් වසර හතරක් ගත විය. එම කාලය තුළ අධිකරණය හමුවේ නඩු වාර 280කට අධික සංඛ්‍යාවක් පැවැත්විණි.
පැමිණිල්ලේ ස්ථාවරය වූයේ පාලමේ ව්‍යුහාත්මක දුර්වලතා පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්, නඩත්තු කටයුතු දිගින් දිගටම ප්‍රමාද කළ බවත්, ආරක්ෂක අවදානම් නොසලකා හැරීම මෙම අනතුරට ප්‍රධාන හේතුව වූ බවත්ය.
කෙසේ වෙතත් විත්ති පාර්ශ්වයේ නීතිඥයන් තර්ක කළේ පාලම කඩා වැටීමට හේතුව නඩත්තු අඩුපාඩුවක් නොව, 1967දී ඉංජිනේරු රිකාර්ඩෝ මොරාන්ඩි විසින් සකස් කළ මුල් සැලසුමේ පැවති දෝෂයක් බවයි.
අනතුරෙන් සිය සහෝදරයා අහිමි වූ එමැනුවෙල් ඩයස් තීන්දුව පිළිබඳව අදහස් දක්වමින්, “අපි මේ තීන්දුව ගැන ඉතා සෑහීමකට පත්වෙනවා,” යනුවෙන් ඉතාලි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
අනතුරෙන් සිය සහෝදරිය, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා අහිමි වූ ඊග්ලේ පොසෙට්ටි පැවසුවේ ජියෝවානි කස්ටෙලුච්චිට නියම කළ වසර 12ක සිරදඬුවම “පිළිගත හැකි” තීන්දුවක් බවයි.
ඇය තවදුරටත් සඳහන් කළේ, “මෙය යුක්තිය කරා යන ගමනේ පළමු ආලෝක කිරණයි” යනුවෙනි.
තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ජියෝවානි කස්ටෙලුච්චි අධිකරණයේ පෙනී සිටියේ නැත. ඔහුගේ නීතිඥවරයා පැවසුවේ මෙම තීන්දුව දෝෂ සහිත බවත්, අභියාචනාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කරන බවත්ය.
ඉතාලි නීතිය අනුව මෙම නඩුවේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට සහ ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ හැකියාව පවතින බැවින්, මෙම නඩුවේ අවසන් නීතිමය තීරණය ලැබීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බව නීති විශේෂඥයෝ පෙන්වා දෙති.
අනතුරෙන් පසු 2019 වසරේදී පැරණි මොරාන්ඩි පාලමේ ඉතිරි කොටස් පුපුරුවා විනාශ කළ අතර, ජෙනෝවා නගරයේ උපන් සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී රෙන්සෝ පියානෝ විසින් නිර්මාණය කරන ලද “San Giorgio” නව පාලම 2020 වසරේදී ජනතා අයිතියට පත් කෙරිණි.
නමුත් වින්දිත පවුල් පෙන්වා දෙන්නේ, නව පාලමක් ඉදි කළද ජීවිත 43ක් අහිමි වූ වේදනාවට සැබෑ පිළිතුර වන්නේ වගකිවයුත්තන් නීතිය හමුවේ වගකීම භාර ගැනීම බවයි.



