29.4 C
Galle

මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්

Published:

2018 අගෝස්තු 14 දින ඉතාලියේ ජෙනෝවා නගරයේ මොරාන්ඩි පාලම කඩා වැටීමෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ඛේදවාචකය සම්බන්ධයෙන් වසර අටකට ආසන්න කාලයකට පසු අද (16) ජෙනෝවා අධිකරණය සිය පළමු මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම තීන්දුව, ඉතාලියේ යටිතල පහසුකම් ආරක්ෂාව, සමාගම් පාලනය සහ රාජ්‍ය අධීක්ෂණයේ වගකීම් පිළිබඳ ඉදිරි නීතිමය ප්‍රවේශයට බලපෑම් කළ හැකි තීරණයක් ලෙස සැලකේ.

2018 අගෝස්තු 14 දින අධික වර්ෂාවක් අතරතුර මොරාන්ඩි පාලමේ මීටර් 200කට වැඩි කොටසක් හදිසියේ කඩා වැටීමෙන් පාලම මත ධාවනය වූ වාහන රැසක් පහළට ඇද වැටී පුද්ගලයන් 43 දෙනෙකු මියගිය අතර, එය ඉතාලියේ දශක ගණනාවකින් සිදුවූ දරුණුතම යටිතල පහසුකම් අනතුරක් ලෙස වාර්තා විය.

2022 ජූලි මාසයේ ආරම්භ වූ මෙම මහා නඩු විභාගය සඳහා නඩු වාර 284ක් පැවැත්වුණු අතර, විත්තිකරුවන් 57 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ. ඔවුන් අතර Autostrade per l’Italia (ASPI) සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජියෝවානි කස්ටෙලුච්චි, Atlantia සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, Spea නඩත්තු සහ අධීක්ෂණ සමාගමේ ඉංජිනේරුවන් සහ ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් ද ඇතුළත්ය. සියලුම විත්තිකරුවන් චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නඩුවේ මූලික නීතිමය ප්‍රශ්නය වන්නේ පාලම කඩා වැටීම සිදුවූයේ වසර ගණනාවක් පුරා සිදු වූ නොසැලකිලිමත් නඩත්තුව සහ ආරක්ෂක අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසාද, නැතහොත් මුල් ඉංජිනේරු සැලසුමේම පැවති දෝෂයක් නිසාද යන්නයි.

පැමිණිල්ල පවසන්නේ පාලමේ ව්‍යුහාත්මක දුර්වලතා පිළිබඳ වාර්තා සහ අනතුරු ඇඟවීම් කලින් සිටම තිබියදීත්, අලුත්වැඩියා කටයුතු ප්‍රමාද කර ලාභ බෙදාහැරීම්වලට ප්‍රමුඛත්වය ලබාදුන් බවයි. මේ හේතුවෙන් විත්තිකරුවන්ට බහු පුද්ගල නොසැලකිලිමත් මනුෂ්‍ය ඝාතනය (multiple manslaughter), ප්‍රවාහන ආරක්ෂාවට හානි කිරීම, ව්‍යාජ ලේඛන සහ රාජකාරි පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී තිබේ.

විත්ති පාර්ශ්වය එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ පාලමේ අංක 9 ආධාරකයේ මුල් සැලසුම් දෝෂයක් නිසා මෙම කඩා වැටීම සිදුවූ බවත්, සාමාන්‍ය නඩත්තු ක්‍රමවේදයකින් එය වළක්වාගත නොහැකි වූ බවත්ය.

Autostrade per l’Italia සහ Spea සමාගම් 2022 වසරේදී වින්දිතයන් සමඟ මූල්‍ය එකඟතාවකට පැමිණීමෙන් පසු අපරාධ නඩු විභාගයෙන් ඉවත් විය. එම නිසා අද තීන්දුව ලබාදෙන්නේ පුද්ගල විත්තිකරුවන්ගේ අපරාධ වගකීම් සම්බන්ධයෙන් පමණි

ජෙනෝවා පැමිණිල්ල විත්තිකරුවන් 56 දෙනෙකු සඳහා සමස්ත වශයෙන් වසර 390කට ආසන්න සිරදඬුවම් ඉල්ලා ඇති අතර, හිටපු ASPI ප්‍රධාන විධායක ජියෝවානි කස්ටෙලුච්චිට වසර 18යි මාස 6ක සිරදඬුවමක් ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, ලේඛන ව්‍යාජ කිරීම වැනි ඇතැම් චෝදනා සඳහා නීතිමය කාල සීමාව (statute of limitations) අවසන් වී ඇති බැවින් ඒවා මත දඬුවම් නියම කිරීම සීමා විය හැකිය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර දින, Autostrade per l’Italia සමාගමේ වත්මන් ප්‍රධාන විධායක අරිගෝ ජියානා විවෘත ලිපියක් නිකුත් කරමින් වින්දිත පවුල්වලින්, ජෙනෝවා ජනතාවගෙන් සහ ඉතාලි ජනතාවගෙන් නිල වශයෙන් සමාව ඉල්ලා සිටියේය. මෙම සමාව වේදනාව මකා දැමීමට ප්‍රමාණවත් නොවන නමුත් සදාචාරාත්මක වගකීමක් ඉටු කිරීමක් බව ඔහු ප්‍රකාශ කළේය.

නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නඩුව පුද්ගලයන්ට එරෙහි අපරාධ වගකීම තීරණය කිරීම පමණක් නොව, විශාල පෞද්ගලික යටිතල පහසුකම් ක්‍රියාකරුවන්ගේ “duty of care” (රැකවරණ වගකීම), රාජ්‍ය අධීක්ෂණය, ආරක්ෂක අවදානම් කළමනාකරණය සහ සමාගම් පාලනය පිළිබඳ ඉදිරි නඩු සඳහාද වැදගත් පූර්වාදර්ශයක් විය හැකි බවයි.

කෙසේ වෙතත්, අද ප්‍රකාශයට පත්වන්නේ පළමු අධිකරණ තීන්දුව (first-instance judgment) පමණක් වන අතර, ඉතාලි අපරාධ නීතිය යටතේ විත්තිකරුවන්ට අභියාචනාධිකරණයට සහ ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ අයිතිය පවතින බැවින් මෙම නඩුවේ අවසන් නීතිමය නිගමනයට තවත් වසර කිහිපයක් ගතවිය හැකි බවද නීති විශේෂඥයෝ පෙන්වා දෙති.

Related articles

spot_img
error: Content is protected !!