29.5 C
Galle

රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්

Published:

අතීතයේ ගැමි ගෙදර සාලයේ පසෙක වූ ලී පෙට්ටියකින් නැගුණු “මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි” යන අභිමානවත් හඬින් ඇරඹි ශ්‍රී ලාංකීය ශ්‍රව්‍ය සංස්කෘතිය, අද වන විට ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ පොඩ්කාස්ට් (Podcast) අවකාශයේ ක්ලික් එකක් දක්වා පරිණාමය වී හමාරය. වසර සියයකට අධික දීර්ඝ අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ විධිමත් පර්යේෂණාත්මක සංවාදයකට මග පාදමින් “A Century of Radio Broadcasting” කෘතිය එළිදැක්වීම පසුගියදා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල (ITN) පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

රාජ්‍ය ගුවන්විදුලි අනුමණ්ඩලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද මෙම විද්වත් සභාවේදී, ආචාර්ය ධම්මික දිසානායකයන් විසින් රචිත මෙම පර්යේෂණ කෘතිය පිළිබඳව මෙන්ම ගුවන්විදුලි කර්මාන්තයේ අනාගත අභියෝග පිළිබඳවද ප්‍රමානික විද්වතුන් රැසක් අදහස් දැක්වූහ.

ඓතිහාසික සියවසකට එකතු වූ විධිමත් ලේඛනය

ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසයට වසර 100ක් පිරීම නිමිත්තෙන් මෙම දැවැන්ත පර්යේෂණාත්මක ග්‍රන්ථය සම්පාදනය කිරීමේ පසුබිම පිළිබඳව පැහැදිලි කළ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ භාග්‍යා දිල්හානි මහත්මිය සඳහන් කළේ, දැනට ක්ෂේත්‍රය තුළ පවතින විධිමත් පර්යේෂණ කෘතියක අඩුව පියවීම සඳහා වෙළුම් කිහිපයකින් යුත් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට ආචාර්ය ධම්මික දිසානායක මහතාට යෝජනා කළ බවයි.

එම යෝජනාව මල්ඵල ගන්වමින් එළිදැක්වුණු මෙම කෘතිය පිළිබඳව රාජ්‍ය ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලයේ සභාපති කපිල එම්. ගමගේ මහතා දැක්වූයේ මෙවන් අදහසකි,

“2025 කියලා කියන්නේ ලංකාවේ රේඩියෝ වලට අවුරුදු 100ක් පිරෙන අවුරුද්ද. ඒ ඓතිහාසික සන්ධිස්ථානය වෙනුවෙන් රේඩියෝ ඉතිහාසයේ සමාජාර්ථික හා දේශපාලන පසුබිම ගැඹුරින් විග්‍රහ කරන පර්යේෂණයක් ලෙස වෙළුම් හතරකින් යුත් මෙම කෘතිය එළිදැක්වීමට අපි කටයුතු කළා.”

හුදෙක් සිදුවීම් වාර්තා කිරීමකින් ඔබ්බට ගොස් අනාගත පරපුරට ගුවන්විදුලිය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා දීමට මෙම කෘතිය සමත්වන බවද ඔහු අවධාරණය කළේය.

“ජර්මානු සබ්මැරීන් මිත්‍යාව” සහ සැඟවුණු ඉතිහාසය

කෘතියේ කර්තෘ ආචාර්ය ධම්මික දිසානායක මහතා සිය පර්යේෂණයේ සොයාගැනීම් පිළිබඳව අදහස් දක්වමින්, මෙතෙක් කාලයක් මෙරට ගුවන්විදුලි ඉතිහාසය සම්බන්ධයෙන් පැවැති ප්‍රධානතම මිත්‍යාවක් තර්කානුකූලව සහ සාක්ෂි සහිතව බිඳ හෙලීමට සමත් විය.

“ලංකාවේ රේඩියෝ ඉතිහාසය ආරම්භයේදී දෙවන ලෝක යුද්ධ සමයේ අල්ලාගත් ජර්මානු සබ්මැරීනයක උපකරණ භාවිත කළ බවට වූ මතය මිත්‍යාවක් බව මෙම පර්යේෂණයේදී සාක්ෂි සහිතව ඔප්පු කර තිබෙනවා.”

ලංකාවේ ගුවන්විදුලියේ පියා ලෙස සැලකෙන එඩ්වඩ් හාපර් මහතා ඇතුළු දේශීය ඉංජිනේරුවරුන්ගේ පුරෝගාමී මෙහෙවර ඇගයීමට ලක්කළ ඔහු, ගුවන්විදුලිය යනු හුදු තාක්ෂණික මෙවලමක් නොව ජාතියක හඬ, මතකය සහ සංස්කෘතික ප්‍රතිරාවය එකතු වූ ශ්‍රව්‍ය ලේඛනාගාරය බව පෙන්වා දුන්නේය.

රේඩියෝව සැබවින්ම මියයන මාධ්‍යයක්ද?

නූතන ඩිජිටල් තාක්ෂණයේ ආගමනයත් සමග රේඩියෝව නැසෙමින් පවතින මාධ්‍යයක් (Dying Media) ලෙස සමාජගතව ඇති මතය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.

“රේඩියෝව කියන්නේ ‘ඩයින් මීඩියා’ එකක් කියන මතයට මම කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. එය තාක්ෂණයත් සමඟ පරිණාමය වෙමින් පවතිනවා. අපි දැන් බ්‍රෝඩ්කාස්ට් මාධ්‍යයක ඉඳලා ඕඩියෝ කන්ටෙන්ට් (Audio Content) මාධ්‍යයක් දක්වා පරිවර්තනය වෙමින් ඉන්නේ.”

වසර 162ක ලෝක ඉතිහාසය තුළ රේඩියෝව තාක්ෂණිකව වෙනස් වෙමින් අද වන විට පොඩ්කාස්ට් සහ ලයිව් ස්ට්‍රීමිං වැනි ඩිජිටල් අවකාශයන් ජයගනිමින් සිටින ආකාරය ඔහු පැහැදිලි කළේය.

නූතන ශබ්ද සන්නිවේදනයේ අභියෝග

නූතන මාධ්‍ය පරිසරය තුළ ශබ්ද සන්නිවේදනය මුහුණ දෙන ප්‍රධාන අභියෝග පිළිබඳව ආචාර්ය රංග කලන්සූරිය මහතා විසින් හෙළිකළ කරුණු ඉතා සංවේදී විය.

“අද අපිට තියෙන ලොකුම අභියෝගය වන්නේ විශ්වාසනීයත්වය (Trust) පිළිබඳ ප්‍රශ්නයයි. තොරතුරු සත්‍යාපනය කිරීමට මාධ්‍ය ආයතනවලට තිබූ කාලය අද තත්පර කිහිපයක් දක්වා සීමා වෙලා. ඒ වගේම දැන් තරඟය තියෙන්නේ ගුණාත්මකභාවයට නෙමෙයි, කෙසේ හෝ ‘රීච්’ (Reach) එක හදාගෙන මුදල් ඉපයීමටයි.”

සාම්ප්‍රදායික මාධ්‍ය සතුව තිබූ න්‍යාය පත්‍ර සෑදීමේ බලය අද වන විට ජෙන්සී (Gen Z) පරපුර සහ සමාජ මාධ්‍ය අතට පත්ව ඇති බව පෙන්වා දුන් ඔහු, කෘතිම බුද්ධිය (AI) හරහා හඬ සහ රූප විකෘති කිරීමේ අවදානම හමුවේ විශ්වාසනීයත්වය රැකගැනීමේ අභියෝගය ද පෙන්වා දුන්නේය.

ලේඛනගත නොවුණු ඉතිහාසය සහ සංස්කෘතික සලකුණ

ප්‍රවීණ මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන මහතා සාකච්ඡාවට එකතු වෙමින් මාධ්‍ය ඉතිහාසය නිසි ලෙස ලේඛනගත නොවීම නිසා සිදු වූ අලාභයන් පෙන්වා දුන්නේය. අහසේ විදුලිය හෝ අකුණු යන අර්ථය ගන්නා ‘ගුවන් විදුලිය’ යන වචනයට වඩා ‘රේඩියෝ’ (කේන්ද්‍රයක සිට විහිදීම) යන වචනය විද්‍යාත්මකව නිවැරදි බව පෙන්වා දුන් ඔහු, ගිනස් ලෝක වාර්තාවකට පවා හිමිකම් කීමට තිබූ “හඳමාමා” වැඩසටහන පිළිබඳ නිසි ලේඛන රජයේ මාධ්‍ය ආයතන සතුව නොතිබීම හේතුවෙන් එම අවස්ථාව ගිලිහී ගිය බව පෙන්වා දුන්නේය.

“අද මට ලැබී ඇති මාතෘකාව වන්නේ “මාධ්‍ය ඉතිහාසය ලේඛනගත කළ යුත්තේ ඇයි?” යන්නයි. ආචාර්ය ධම්මික දිසානායකයන්ගේ මෙම පොත මගින් මාධ්‍ය ඉතිහාසය විධිමත්ව ලේඛනගත කිරීමේ ක්‍රමයක් සහ ශික්ෂණයක් අපට ලබා දෙනවා.

මෙම පොතේ පූර්විකාවේ සඳහන් පරිදි, ලංකාව තුළ නව ජන සන්නිවේදන මාධ්‍යයක් ලෙස රේඩියෝව මතුවීමට දායක වූ බුද්ධිමය, තාක්ෂණික, පරිපාලනමය සහ සංස්කෘතික ක්‍රියාවලීන් ලේඛනගත කිරීමට හා අර්ථ නිරූපණය කිරීමට මෙහි උත්සාහ කර තිබෙනවා. මම “රේඩියෝ” යන වචනය සිංහලෙනුත් භාවිත කිරීමට කැමතියි. කරුණාරත්න අමරසිංහ මහතා පෙන්වා දී ඇති පරිදි, රේඩියෝ යන්න සඳහා “ගුවන් විදුලිය” යන වචනය භාවිත කිරීම වචනාර්ථයෙන් ගත්තොත් අර්ථ විපරීතයක්. එහි අර්ථය වන්නේ අහසේ විදුලිය හෙවත් “අකුණු” යන්නයි. රේඩියෝ යන වචනය “රේඩියස්” (Radius) යන ඉංග්‍රීසි වචනයෙන් උපන්නක් වන අතර එහි තේරුම කේන්ද්‍රයක සිට පිටතට විහිදෙන තරංග යන්නයි. 1938දී මුල්ම සිංහල නිවේදකයා ලෙස ඩී.එම්. කොළඹගේ මහතා සම්බන්ධ වන විට භාවිත කර ඇත්තේ “කොළඹ රේඩියෝ” හෝ “කොළඹ විකාශන සේවය” යන නමයි.

මෙම රේඩියෝ සියවස එක් ආයතනයකට පමණක් හිමිකම් කියන්න පුළුවන් එකක් නෙමෙයි. මුල් වසර 67ක ඒකාධිකාරය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු වුවත්, 1992 සිට පෞද්ගලික විකාශන සේවාද මෙයට දායක වෙනවා. එමෙන්ම ආධුනික රේඩියෝකරුවන් (Hams), ගුවන් සහ නාවික සේවා වැනි රේඩියෝ ස්පෙක්ට්‍රම් එක භාවිත කරන සියලු දෙනාටම මෙම සියවස අයිතියි.

රේඩියෝව අපේ රටේ තොරතුරු සහ වින්දනය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. 1920 දශකය වන විට ලංකාවේ සාක්ෂරතාවය තිබුණේ 40%ක් වැනි අඩු මට්ටමකයි. එවැනි කාලයක පත්තර කියවීමට නොහැකි වූ අයට දැනුම ලබා දීමට රේඩියෝව සමත් වුණා. එමෙන්ම, නාගරික ටික දෙනෙකුට සීමා වී තිබූ සංගීතය සහ සංස්කෘතික අංග රටටම ලබා දීම විශාල විප්ලවයක් වුණා. 1950 සිට 1970 දක්වා කාලය රේඩියෝවේ “ස්වර්ණමය යුගය” ලෙස සැලකිය හැකියි.

“මුවන්පැලැස්ස” වැනි වැඩසටහන්වල ආරම්භය ගැන පර්යේෂණාත්මකව සාක්ෂි සහිතව කරුණු හෙළි කර ගැනීම වැදගත්. “හඳමාම” වැඩසටහන ලොව දීර්ඝතම කාලයක් අඛණ්ඩව විකාශය වූ වැඩසටහන ලෙස ගිනස් වාර්තාවකට හිමිකම් කීවත්, ගුවන්විදුලි සංස්ථාව තුළ ඒ පිළිබඳ නිසි ලේඛනයක් නොතිබීම නිසා එය නිල වශයෙන් තහවුරු කිරීමට නොහැකි වුණා. මාධ්‍ය ඉතිහාසය නිසි ලෙස ලේඛනගත කිරීමේ වැදගත්කම මෙයින් පැහැදිලි වෙනවා.

මෙම පොත මගින් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ, මුල් රේඩියෝ අත්හදා බැලීම් සඳහා ජර්මානු සබ්මැරීනයක උපකරණ භාවිත කළ බවට වූ මතය මිත්‍යාවක් බවයි. එමෙන්ම 1924 ජූනි මාසයේ මුල්ම විකාශනය සිදුව තිබුණත්, නිතිපතා විකාශන ආරම්භ වූයේ 1925 දෙසැම්බර් මාසයේදී බව තහවුරු වී තිබෙනවා. 1992න් පසු පෞද්ගලික විකාශන බලපත්‍ර ලබා දීමේදී සිදු වූ අවිධිමත් ක්‍රමවේදයන් නිසා පෞද්ගලික මාධ්‍ය ඉතිහාසය ලේඛනගත කිරීම අභියෝගාත්මක වී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව දේශීයකරණය කිරීමට රේඩියෝව කළ මෙහෙවර ඉතා ප්‍රබලයි. 1927 සිට ක්‍රිකට් විකාශනයන් ඉංග්‍රීසියෙන් ආරම්භ වූ අතර, සිංහලෙන් ක්‍රිකට් විස්තර විචාර ලබාදීම 1960දී කරුණාරත්න අබේසේකර මහතා විසින් ආරම්භ කරනු ලැබුවා. පසුව 1963දී පාලිත පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන් ආනන්ද-නාලන්දා තරඟය සඳහා ප්‍රථම වරට පූර්ණ (Ball-by-ball) සිංහල විස්තර විචාරයක් ලබා දීමට කටයුතු කළා.

අවසාන වශයෙන්, අපේ රේඩියෝ ඉතිහාසයට 80 දශකයේ පැවති “රණහඬ” සහ පසුව පැවති “Voice of Tigers” වැනි නිල නොවන විකාශයන් පිළිබඳ තොරතුරුද අයිති වන අතර, ඒවාද නිවැරදිව ලේඛනගත කළ යුතුයි. ලංකාවේ රේඩියෝ ඉතිහාසය ඉතා විචිත්‍රවත් එකක්.”

මෙම විද්වත් කතිකාවත අතරතුරදී හිටපු අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී කාරියවසම් මහතා ගුවන්විදුලි සංස්ථාවේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, ආචාර්ය සමන් රාජපක්ෂ මහතා ප්‍රජා ගුවන්විදුලි සංකල්පයේ අනාගත අවශ්‍යතාව පිළිබඳව අදහස් දැක්වීය.

සංවාදය අවසානයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සිසුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විද්වතුන් පෙන්වා දුන්නේ, තාක්ෂණය කොතෙක් වෙනස් වුවද මාධ්‍යවේදියෙකු සතු විය යුතු ශික්ෂණය, විනය සහ වෘත්තීය මූලධර්ම කිසිදා වෙනස් නොවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!