සිංගප්පූරුවේ පොදු බස් රථවල මගීන්ගේ නොසැලකිලිමත් හා අනෙක් මගීන්ට බාධා වන හැසිරීම් සම්බන්ධයෙන් නව නීති අද (23) සිට ක්‍රියාත්මක කර තිබේ.
සිංගප්පූරු ඉඩම් ප්‍රවාහන අධිකාරිය (LTA) සඳහන් කරන්නේ පොදු බස් රථවල සහ බස් හුවමාරු මධ්‍යස්ථාන හා පර්යන්තවල මගීන්ට වඩාත් ආරක්ෂිත, පිළිවෙළ සහිත හා පහසු පරිසරයක් ඇති කිරීම නව නීතිවල අරමුණ බවයි.
බස් රථයක ආසනයක් මත පා තැබීම, අධික ශබ්දයෙන් ශබ්ද උපකරණ භාවිත කිරීම, කසළ දැමීම, ආහාර ගැනීම හෝ බීම පානය කිරීම වැනි ක්‍රියා නීතිමය වරදක් බවට පත්කර තිබේ.
එවැනි වරදකට සිංගප්පූරු ඩොලර් 500ක් දක්වා දඩයක් නියම කළ හැකිය. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් දළ වශයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලකි.
එමෙන්ම බස් හුවමාරු මධ්‍යස්ථානයක හෝ පර්යන්තයක අනෙක් මගීන්ට බාධාවක් හෝ අනතුරක් ඇති කිරීම, පොදු බස් රථයක, බස් හුවමාරු මධ්‍යස්ථානයක හෝ පර්යන්තයක කිසියම් කොටසක් අපිරිසිදු කිරීම වැනි වඩාත් බරපතළ වැරදි සඳහා සිංගප්පූරු ඩොලර් 5,000ක් දක්වා දඩයක් නියම කළ හැකිය.
නව ක්‍රමය යටතේ ටිකට් පරීක්ෂකයන් සහ බස් හුවමාරු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය වැනි බලයලත් නිලධාරීන්ට වරදක් කළ බවට සැක කෙරෙන මගීන්ට නිල දැනුම්දීමක් නිකුත් කළ හැකිය.
එහෙත් බස් රියැදුරන්ට එම නිල දැනුම්දීම නිකුත් කිරීමේ බලය ලබාදී නොමැත. එයට හේතුව ඔවුන්ගේ ප්‍රධාන වගකීම වන බස් රථය ආරක්ෂිතව ධාවනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සැලසීමයි.
කෙසේ වෙතත්, බස් රියැදුරෙකුට මගියකුගේ බාධාකාරී හැසිරීම නතර කරන ලෙස දැනුම් දිය හැකි අතර, එම උපදෙස් නොතකා කටයුතු කළහොත් බස් රථයෙන් බැස යන ලෙස මගියාට දැනුම් දිය හැකිය. බරපතළ අවස්ථාවකදී පොලිසියේ සහාය ලබාගැනීමටද හැකියාව තිබේ.
බස් රථවලටත් දුම්රිය නීති
මෙම නව නීති මගින් සිංගප්පූරුවේ බස් රථවලට අදාළ නියාමන ක්‍රමය එරට MRT දුම්රිය පද්ධතියේ දැනට ක්‍රියාත්මක නීතිවලට වඩාත් සමීප කර තිබේ. MRT පද්ධතියේද මගීන්ට කරදරයක් වන හැසිරීම් සඳහා උපරිම සිංගප්පූරු ඩොලර් 500ක දඩයක් සහ වඩාත් බරපතළ අපිරිසිදු කිරීම් සඳහා ඩොලර් 5,000ක් දක්වා දඩ නියම කළ හැකිය.
බස් රථ සම්බන්ධයෙන් මීට පෙර බොහෝ අවස්ථාවල මෙවැනි හැසිරීම් පාලනය කර තිබුණේ බස් සමාගම්වල අභ්‍යන්තර නීති හා රියැදුරන්ගේ මැදිහත්වීමෙනි. 2025 මාර්තු මාසයේ සිට බස් රථ සඳහා වෙනම “Conditions of Carriage” හඳුන්වාදීමෙන් පසුවද මගී හැසිරීම් සම්බන්ධයෙන් නියාමනය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබිණි.
නව නීති හඳුන්වාදීම සම්බන්ධයෙන් LTA අවධාරණය කර ඇත්තේ පොදු ප්‍රවාහනය යනු සියලු දෙනා බෙදාගන්නා අවකාශයක් බැවින්, අනෙක් මගීන්ගේ පහසුව හා ආරක්ෂාව පිළිබඳව සෑම මගියකුටම වගකීමක් ඇති බවයි.



