30.6 C
Galle

සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (10) නියෝග කළේය.

අද පස්වරුවේ දෙපාර්ශ්වයේම නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම් පස්වරු 4.30ට පමණ අවසන් වූ අතර, නීතිමය කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් පිටු 17කින් සමන්විත දීර්ඝ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව සාගර කාරියවසම් මහතාට රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරන ලද අතර විදේශගත වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් ඇප කොන්දේසි පනවන ලදී.

අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහුව මුදාහැරීමට අධිකරණය පියවර ගත්තේය.

පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබූ අතර, පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සාගර කාරියවසම් මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටිනු දක්නට ලැබුණි.

Related articles

spot_img
error: Content is protected !!