30.6 C
Galle

ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?

Published:

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට නිරිතදෙසින් පිහිටි ඕලන් (Oallen) ගම්මානය ආසන්නයේ පාර අයිනක දමා ගොස් තිබූ සූට්කේසයකින් හමුවූ “මළ සිරුර” සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනය, එම ද්‍රව්‍යය මිනිස් සිරුරක් නොව යථාර්ථවාදී ලෙස නිර්මාණය කරන ලද ඩමියක් (lifelike doll) බව තහවුරු වීමත් සමඟ අවසන් කර තිබේ.

සති අන්තයේ චාරිකාවක නිරත වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පාර අයිනක තිබී මෙම සූට්කේසය සොයාගෙන ඇති අතර, එහි තිබූ දේ දැක බියට පත්වූ ඔවුන් වහාම ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.

සිද්ධිය වාර්තා වීමත් සමඟ හියුම් පොලිස් බලප්‍රදේශයේ (Hume Police District) පොලිස් අධිකාරී ලින්ඩා බ්‍රැඩ්බරි මහත්මිය සඳහන් කළේ මෙය ඉතා භයානක සොයාගැනීමක් බවයි. පසුව පොලීසිය විසින් මනුෂ්‍ය ඝාතන විමර්ශනයක් (murder investigation) ආරම්භ කළ අතර එය මාධ්‍ය අතර දැඩි අවධානයට ලක්විය.

කෙසේ වෙතත්, පැය කිහිපයකට පසුව සිදුකරන ලද වෝහාරික පරීක්ෂණවලින් (forensic testing) තහවුරු වූයේ සූට්කේසය තුළ වූයේ මිනිස් සිරුරක් නොවන බවයි.

පොලිස් අධිකාරී ලින්ඩා බ්‍රැඩ්බරි මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, “මුලදී මෙය මිනිස් අවශේෂ ලෙස වරදවා වටහා ගැනීමට තරම් ඉතා සියුම් ලෙස සකසා තිබුණා. නමුත් වෙනත් ක්‍රමවේද හරහා එය මිනිස් සිරුරක් නොවන බව අපි තහවුරු කරගත්තා” යනුවෙනි.

පොලීසිය සඳහන් කරන අන්දමට, මෙම රූකඩයට ඇඳුම් අන්දවා තිබූ අතර ඊට කෙස් සහ නාසයේ කරාබුවක් (nose piercing) ද තිබී ඇත. එපමණක් නොව, සිරුරේ තැලීම් සහ සීරුම් තුවාල (bruises and grazes) වැනි සලකුණු පවා ඉතා තාත්වික ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

අපරාධ ස්ථානයේ සාක්ෂි ආරක්ෂා කරගැනීම සඳහා සියලුම සම්මත ක්‍රියාපටිපාටීන් අනුගමනය කළ බවත්, මෙම මෙහෙයුම මෙහෙයවූ ආකාරය පිළිබඳව කිසිදු කනගාටුවක් නැති බවත් පොලිස් අධිකාරීවරිය පැවසුවාය.

“අපරාධ ස්ථානයකට හානි නොකිරීම සහ විමර්ශනයේ විශ්වසනීයත්වය රැකගැනීම අපගේ ප්‍රධාන අරමුණයි. මෙම සිදුවීමෙන් එම පුද්ගලයන් දෙදෙනා දැඩි ලෙස කලබලයට පත්ව සිටි අතර, හමුවූයේ මිනිස් සිරුරක් නොවන බව අපි ඔවුන්ට දැනුම් දෙනවා,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අපරාධමය පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති බැවින් පොලීසිය මේ වන විට සිය විමර්ශන කටයුතු අවසන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!