රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
වී ගොවීන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම සහ ගොවි ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩාවන් සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා අම්බලන්තොට නගරයේ පැවැති විරෝධතාවය ඇතැම් මාධ්‍ය ආයතන විසින් දේශපාලනික ස්වරූපයෙන් වාර්තා කර ඇති බවට චෝදනා කරමින් රිදියගම ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද (11) මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කළේය.
අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී සංවිධානයේ නියෝජිතයින් සඳහන් කළේ, අදාළ විරෝධතාවය සංවිධානය කරනු ලැබුවේ ගොවීන් මුහුණ දෙන සැබෑ ගැටලු රජයේ අවධානයට යොමු කිරීම සඳහා බවයි.
ගොවි සංවිධානයේ ලේකම් ජයරත්න බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, දේශපාලන බේදයකින් තොරව ගොවීන් එක්ව සංවිධානය කළ විරෝධතාවය ඇතැම් පුද්ගලික රූපවාහිනී නාලිකා දේශපාලනික කෝණයකින් වාර්තා කර ඇති බවයි.
“ගොවියාට තිබෙන වී මිලේ ප්‍රශ්නය ගැන අපි ගොවීන් විදියට විරෝධතාවයක් කළා. නමුත් එය දේශපාලනික එකක් කියලා පුද්ගලයින් හුවා දක්වමින් ප්‍රවෘත්ති පළ කළා. එම වාර්තාකරණය පිළිබඳ අපට අප්‍රසාදය සහ කනගාටුව තිබෙනවා” යැයි ඔහු පැවසීය.
සංවිධානයේ සභාපති සහ හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාරයේ ලේකම් ප්‍රසාද් විජේරත්න මහතා සඳහන් කළේ, තමන් ගොවි සංවිධාන නායකයෙකු ලෙස කටයුතු කරන අතර තමන්ව දේශපාලන පක්ෂ නියෝජිතයෙකු ලෙස හුවා දැක්වීම අසාධාරණ බවයි.
“අපි නියෝජනය කරන්නේ ගොවි ජනතාව. ගොවි සංවිධානවල විවිධ දේශපාලන මත දරන අය ඉන්නවා. නමුත් මේ විරෝධතාවය දේශපාලන මතයක් වෙනුවෙන් නොවෙයි, ගොවි මතය වෙනුවෙන් කළ එකක්” යැයි ඔහු කියා සිටියේය.
තම සංවිධානය අද ඊයේ ආරම්භ වූ එකක් නොවන බවත්, ගොවීන්ගේ ප්‍රශ්නවලදී පවතින ඕනෑම ආණ්ඩුවකට එරෙහිව කටයුතු කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
විරෝධතාවය ඉතා සාමකාමීව පැවැත්වූ බවත්, එය කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළ බවත් සංවිධානයේ නියෝජිතයින් සඳහන් කළේය.
උප සභාපති ලෙස්ලි ජයසේකර මහතා පැවසුවේ, ගොවීන්ගේ සාධාරණ ඉල්ලීම් සමාජයට ඉදිරිපත් කිරීම තම සංවිධානයේ අරමුණ වූ නමුත්, ඇතැම් මාධ්‍ය එය දේශපාලනික කර ඇති බවයි.
“ගොවීන්ට සාධාරණයක් ඉල්ලා කළ විරෝධතාවයක් මාධ්‍ය දේශපාලනයක් බවට පත් වුණොත් එහි සැබෑ අරමුණ ජනතාවට පෙනෙන්නේ නැහැ. එවිට එළියට එන්නේ ගොවීන්ගේ ප්‍රශ්නය නොව මාධ්‍යවල දේශපාලනයයි” යැයි ඔහු ප්‍රකාශ කළේය.
ගොවි සංවිධානයේ නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළේ, ගොවීන්ට අපහාස කිරීමෙන් හෝ ඔවුන් දේශපාලනික ලෙස ලේබල් කිරීමෙන් ගොවි ජනතාවගේ අරගලය නතර කළ නොහැකි බවයි.
වී ගොවීන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදීම, කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය පාලනය කිරීම සහ ගොවි ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය පිළිබඳ රජය කඩිනම් අවධානය යොමු කළ යුතු බවද එම සංවිධානය අවධාරණය කළේය.



