හෙට (12) අලුයම හිරු උදාවීමට පෙර නැගෙනහිර සහ දකුණු අහස හරහා බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හය චාපාකාර ලෙස පෙළ ගැසෙනු ඇතැයි ආතර් සී. ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.
තාරකා විද්‍යාඥයින් මෙම දර්ශනය “ග්‍රහලෝක පෙළගැස්ම” හෙවත් Planet Parade ලෙස හඳුන්වන අතර, එකම කාලසීමාවක ග්‍රහලෝක කිහිපයක් එකම අහස් කලාපයක දැකගත හැකි වීම නිසා මෙය විශේෂ තාරකා විද්‍යාත්මක සිදුවීමක් ලෙස සැලකේ.
මෙම ග්‍රහලෝක හයෙන් අඟහරු, සෙනසුරු, බුධ සහ බ්‍රහස්පති යන ග්‍රහලෝක සාමාන්‍ය නිරීක්ෂකයෙකුට ඇසින් දැකගත හැකි බව ආයතනය පවසයි. කෙසේ වෙතත්, යුරේනස් නිරීක්ෂණය කිරීමට ද්වීනෙත්‍රිකයක් (binoculars) සහ නෙප්චූන් නිරීක්ෂණය කිරීමට දුර දක්නයක් (telescope) අවශ්‍ය වනු ඇත.
ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටා ඇති බැවින්, මෙම ග්‍රහලෝක පෙළගැස්ම නිරීක්ෂණය කිරීම සඳහා අනෙකුත් බොහෝ රටවලට වඩා වාසිදායක දර්ශන තත්ත්වයක් හිමිවන බව තාරකා විද්‍යා අංශය පෙන්වා දෙයි.
ග්‍රහලෝක පෙළගැස්ම නිරීක්ෂණය කිරීමට සුදුසුම කාලය හිරු උදාවීමට විනාඩි 60 සිට 90 දක්වා පෙර කාලය බව සඳහන් වේ. අගෝස්තු මැද භාගයේ කොළඹ ප්‍රදේශයට හිරු උදාව පෙරවරු 6.00ට පමණ සිදුවන බැවින්, අලුයම 4.30ත් 5.15ත් අතර එළිමහනට ගොස් නැගෙනහිර ක්ෂිතිජයේ සිට දකුණ දෙසට නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුය.
අඟහරු සහ සෙනසුරු අහසේ තරමක් ඉහළින් දිස්වන බැවින් පහසුවෙන් හඳුනාගත හැකි අතර, බුධ සහ බ්‍රහස්පති නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව පෙනෙන බැවින් හිරු උදාවට මඳ වේලාවකට පෙර ඒවා දැකගැනීම තරමක් අපහසු විය හැකිය.
මෙම ග්‍රහලෝක පෙළගැස්මට සමගාමීව තවත් විශේෂ අභ්‍යවකාශ සිදුවීමක් වන Perseids උල්කාපාත වර්ෂාව ද උපරිමයට ළඟා වීමට නියමිතය.
ජූලි 17 සිට අගෝස්තු 24 දක්වා සක්‍රියව පවතින මෙම උල්කාපාත වර්ෂාව අගෝස්තු 12 වැනිදා රාත්‍රියේ සිට 13 වැනිදා අලුයම දක්වා උපරිම මට්ටමට පැමිණෙනු ඇත.
Perseids උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ 109P/Swift–Tuttle නම් ධූමකේතුවෙන් ඉතිරි වන අභ්‍යවකාශ කණිකා පෘථිවියේ වායුගෝලයට ඇතුළු වීම නිසාය. 1862 දී සොයාගත් මෙම ධූමකේතුව සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට වසර 133ක් පමණ ගත කරයි.
මෙවර Perseids වර්ෂාවේ උපරිමය අමාවක දිනයකට යෙදෙන බැවින් අහස වඩාත් අඳුරු වන අතර, නිරීක්ෂණයට ඉතා හොඳ තත්ත්වයක් ලැබෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
පැහැදිලි අහසක් පවතින විට පැයකට උල්කාපාත 100ක් පමණ දැකගත හැකි විය හැකි බව ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරයි.
Perseids වර්ෂාව නැරඹීමට හොඳම කාලය මධ්‍යම රාත්‍රියෙන් පසු සිට අලුයම දක්වා වන අතර, ඊසාන දිග අහස දෙස නිරීක්ෂණය කිරීම සුදුසු බවද උපදෙස් ලබා දී ඇත. අඳුරට ඇස් හුරු කර ගැනීම සඳහා විනාඩි 20 සිට 30 දක්වා කාලයක් ලබා දීමෙන් උල්කාපාත වඩාත් පැහැදිලිව දැකගත හැකි බවද එම ආයතනය පවසයි.
පැහැදිලි කාලගුණ තත්ත්වයක් පවතින්නේ නම්, හෙට අලුයම සහ අනිද්දා රාත්‍රියේ ශ්‍රී ලාංකිකයන්ට ග්‍රහලෝක හයක පෙළගැස්ම සහ Perseids උල්කාපාත වර්ෂාව එකම කාලසීමාවක නිරීක්ෂණය කළ හැකි දුර්ලභ අත්දැකීමක් හිමිවනු ඇත.



