ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියනයේ බ්‍රයිට් ඒන්ජල් කැනියන් සහ ෆැන්ටම් රැන්ච් ප්‍රදේශ හරහා හදිසි ගංවතුරක් ගලා යාමෙන් පසු පුද්ගලයන් 15 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
සෙනසුරාදා ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 2.30ට පමණ ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාවත් සමඟ ගංවතුර ඇතිවී තිබේ.
ගංවතුරෙන් පසු පුද්ගලයන් 62 දෙනකු හෙලිකොප්ටර් මගින් එම ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර, තවත් පිරිසක් ඉවත් කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ගංවතුර හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග සහ ඇවිදීමේ මාර්ගවලට දැඩි හානි සිදුව ඇති අතර, පාලම් කිහිපයක්ද ගංවතුරට ගසාගෙන ගොස් තිබේ. ඒ හේතුවෙන් ඇතැම් මාර්ග තාවකාලිකව වසා දමා ඇත.
ගංවතුරට හසුවූ සංචාරකයන් අතර සිටි නිකී බැග්ස් නමැති 41 හැවිරිදි කාන්තාවක් සඳහන් කර ඇත්තේ හදිසියේම ජලය ගලා ඒමත් සමඟ ජනතාව කෑගසමින් ආරක්ෂිත ස්ථාන වෙත දිව ගිය බවයි.
ඇය සහ ඇගේ මිතුරන් දෙදෙනා ෆැන්ටම් රැන්ච්හි නවාතැන්පළකට තම ගමන් මලු තබා දමා පිටතට ගොස් සිටියදී වර්ෂාව ආරම්භ වී ඇති අතර, පසුව ඔවුන්ට ඉහළ ස්ථානයකට පලා යාමට සිදුව තිබේ.
උද්‍යානයේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ට තවදුරටත් ඉහළ ප්‍රදේශයකට ගමන් කරන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, පැය කිහිපයක් එහි රැඳී සිටීමෙන් පසු රාත්‍රී 9.30ට පමණ හෙලිකොප්ටරයකින් ඉවත් කරගෙන තිබේ.
මේ අතර ඉරිදා සහ සඳුදා දිනවලද ගිගුරුම් සහිත වැසි සහ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි පළව තිබේ. එමඟින් තවත් හදිසි ගංවතුර, මඩ හා සුන්බුන් ගලායාම්, ගල් පෙරළීම් සහ ගංඟා මට්ටම් වෙනස්වීම් ඇතිවිය හැකි බැවින් ප්‍රදේශයේ සංචාරකයන්ට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු අඟවා ඇත.
ඇමෙරිකාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති ජාතික උද්‍යාන අතරින් එකක් වන ග්‍රෑන්ඩ් කැනියන් වසරකට සංචාරකයන් මිලියන පහකට ආසන්න පිරිසක් පැමිණෙන අතර, බ්‍රයිට් ඒන්ජල් මාර්ගය එහි ජනප්‍රියම කඳු තරණ මාර්ගය ලෙස සැලකේ.



