නේපාලයේ රසුවා සහ නුවාකෝට් ප්‍රදේශවලට බලපෑ දැවැන්ත ගංවතුරෙන් පසු මඩ, ගල් සහ සුන්බුන්වලින් වැසී ගිය ජල විදුලි ව්‍යාපෘති උමංවල සිරවී සිටින බවට සැක කෙරෙන සිය ගණනක් කම්කරුවන් සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් දැඩි කර තිබේ.
ඒ අතර ත්‍රිශූලි 3ඒ ජල විදුලි ව්‍යාපෘතියේ උමගකට පිවිසීම සඳහා නේපාල යුද හමුදා ඉංජිනේරු කණ්ඩායමක් පාලිත පිපිරීමක් සිදුකර තිබේ. පිපිරීම සිදුකර ඇත්තේ උමගට ඇතුළුවීම අවහිර කර තිබූ විශාල ගල් සහ ශක්තිමත් කොන්ක්‍රීට් කොටස් ඉවත් කිරීම සඳහාය.
පිපිරීමෙන් පසුව මීටර් 10ක් පමණ ගැඹුරු වූ ස්ථානයක් හරහා කැණීම් සිදුකරමින් මඩ, ජලය සහ සුන්බුන් ඉවත් කිරීමට බර යන්ත්‍ර භාවිත කර ඇත. හෙලිකොප්ටර් මගින් එම දුෂ්කර කඳුකර ප්‍රදේශයට ගෙන ගිය කැණීම් යන්ත්‍රද මෙහෙයුමට එක්කර තිබේ.
උමග තුළ ඔක්සිජන් ලබාදීම සඳහා කුඩා සිදුරු කිහිපයක්ද විද ඇති අතර, සෙවීම් කැමරා ඇතුළට යැවීමටද කටයුතු කර තිබේ. ඉදිරියේදී ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ඇතුළුවිය හැකි තරම් විශාල මාර්ගයක් විවෘත කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ත්‍රිශූලි 3ඒ ව්‍යාපෘතියේ උමග තුළ සේවය කළ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ 40ත් 42ත් අතර පිරිසක් තවදුරටත් සොයාගත නොහැකිව සිටින බව නේපාල විදුලිබල අධිකාරිය පවසයි. මීට පෙර සෙවීම් කණ්ඩායම් විසින් උමගට ප්‍රවේශ වීමට නොහැකිව සිටීම නිසා ඔවුන් පිළිබඳ කනස්සල්ල තවත් ඉහළ ගොස් තිබිණි.
කෙසේ වෙතත් ගංවතුරෙන් බලපෑමට ලක්වූයේ ත්‍රිශූලි 3ඒ ව්‍යාපෘතිය පමණක් නොවේ. නේපාලයේ රසුවා සහ නුවාකෝට් දිස්ත්‍රික්කවල ජල විදුලි ව්‍යාපෘති කිහිපයකින් පුද්ගලයන් 933 දෙනකු පමණ තවදුරටත් සොයාගත නොහැකි බව ජාතික ආපදා අවදානම් අවම කිරීමේ හා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි. එම සංඛ්‍යාවෙන් කොපමණ පිරිසක් උමං තුළ සිරවී සිටිනවාද යන්න තවමත් පැහැදිලි නැත.
ත්‍රිශූලි 3ඒ ව්‍යාපෘතියට අමතරව ත්‍රිශූලි 3බී, ඉහළ ත්‍රිශූලි 1, චිලිමේ සහ ලැන්ටැං ඛෝලා වැනි ව්‍යාපෘතිවලද කම්කරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. ඉහළ ත්‍රිශූලි 1 ව්‍යාපෘතියේදී පමණක් සති අන්තයේ පුද්ගලයන් 250කට වැඩි පිරිසක් මුදාගෙන තිබූ බව වාර්තා වේ.
ජල ගැලීමෙන් මාර්ග හා පාලම් රැසක් විනාශ වී ඇති නිසා බර යන්ත්‍ර සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථාන වෙත රැගෙන යාම විශාල අභියෝගයක් වී තිබේ. ඒ හේතුවෙන් නේපාල යුද හමුදාව හෙලිකොප්ටර් භාවිත කර අවශ්‍ය උපකරණ ගුවන් මගින් රැගෙන යාමට කටයුතු කර ඇත. ඉන්දියාව සහ චීනයෙන්ද විශේෂඥ සහාය ලැබෙමින් පවතී.
අගෝස්තු 26 වැනිදා ඇති වූ දැවැන්ත ගංවතුරෙන් පසු මේ වනවිට දින කිහිපයක් ගතවී ඇති බැවින්, උමං තුළ සිරවී සිටින පුද්ගලයන්ට ඔක්සිජන්, ජලය සහ ආහාර ලබාදීම මෙන්ම ඉක්මනින් ප්‍රවේශ මාර්ග විවෘත කිරීම ගලවා ගැනීමේ කණ්ඩායම් හමුවේ ඇති ප්‍රධාන අභියෝග බවට පත්ව තිබේ.
මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන අතර, උමං තුළ සිටින අතුරුදන් කම්කරුවන් පිළිබඳ කිසියම් සලකුණක් හමුවේද යන්න සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවධානයෙන් පසුවෙති.



