රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරමින් ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය අද (02) අවසන් කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත් අතර, පෙත්සම්කරුවන්, පනත් කෙටුම්පතට සහාය පළ කරමින් කරුණු ඉදිරිපත් කළ පාර්ශ්ව සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විභාගය අවසන් කර තිබේ.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිගමනය රහසිගතව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කථානායකවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව, එම තීරණය පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරේ.
මේ අතර, පෙත්සම්වලට අදාළව තවදුරටත් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පාර්ශ්ව වෙත එම දේශන හෙට (03) පස්වරු 3.00ට පෙර ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය දිනවල නීතිමය සහ දේශපාලනික වශයෙන් දැඩි විවාදයක් මතුව තිබිණි. විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.
යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබූ අතර, ඇතැම් පෙත්සම් මගින් එය සම්මත කිරීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයකට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට තීන්දුවක් ඉල්ලා තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබීමෙන් පසුව එය පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත අතර, එම තීරණයට අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග තීරණය වනු ඇත.



