මාතර තෙලිජ්ජවිල ඇල්ගිරිය ප්‍රදේශයේදී අවුරුදු 9ක් වයසැති පිරිමි දරුවකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනෙකු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකු සහ ඔහුගේ මිතුරකු මෙන්ම පිටබැද්දර හුලන්දාව වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ දරුවා නිවසේ තනිවම සෙල්ලම් කරමින් සිටියදී සැකකරුවන් නිවසට ඇතුළු වී ඔහුගේ දෑස් සහ කට රෙදි පටිවලින් බැඳ, බලහත්කාරයෙන් නිවස අසල පිහිටි ඝන කැලෑවකට රැගෙන ගොස් ඇති බවයි.
දරුවා කෑගැසීම ඇසීමෙන් පසු ප්‍රදේශවාසීන් පිරිසක් සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර, පොලිසියේ සහාය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
දරුවා රැගෙන යාම සඳහා භාවිත කිරීමට ගෙනවිත් තිබූ බව කියන ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිධානයක් ලබා ගැනීමේ අරමුණින් දරුවා පැහැරගෙන යාමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. සිද්ධියට පෙරද සැකකරුවන් එම නිවස ආසන්නයට පැමිණ තොරතුරු සොයා බලා ඇති බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර තිබේ.
සිද්ධියෙන් පසු දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ උපදෙස් මත මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති උදිත කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



