රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ ගෙවන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා රථවාහන පොලිසියෙන් නිකුත් කළ බවට හැඟවෙන ව්‍යාජ පණිවුඩ හරහා සිදුකරන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසිය ජනතාවට අනතුරු අඟවා තිබේ.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සෙනාධීර මහතා සඳහන් කළේ, රථවාහන වරදක් සිදුකර ඇති බවත්, නියමිත දින කිහිපයක් ඇතුළත දඩ මුදල අන්තර්ජාලය ඔස්සේ ගෙවන ලෙසත් සඳහන් කරමින් පණිවුඩ සංසරණය වන බවයි.
නියමිත කාලය තුළ දඩය නොගෙවන්නේ නම් දඩ මුදල වැඩි වන බවත්, නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරමින් එම පණිවුඩ හරහා ජනතාව බිය ගන්වන බව පොලිසිය පවසයි.
එම පණිවුඩවල ඇතුළත් සබැඳි ඔස්සේ ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරන පුද්ගලයන්ගෙන් පෞද්ගලික තොරතුරු සහ බැංකු කාඩ්පත් තොරතුරු ලබාගැනීමට වංචාකරුවන් කටයුතු කරන බවද අනාවරණය වී තිබේ.
මෙවැනි සබැඳි හරහා බැංකු තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු තම බැංකු ගිණුම්වලින් මුදල් අහිමි වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි ද පොලිසියට ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රථවාහන පොලිසිය රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා වෙබ් අඩවි වෙත යොමු කරමින් මෙවැනි පණිවුඩ නිකුත් නොකරන බව ඔහු අවධාරණය කළේය.
දැනට රථවාහන දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ ගෙවීම සඳහා අවසර ලබාදී ඇති ක්‍රමය GovPay පද්ධතිය වන අතර, අදාළ රථවාහන වරද සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු විසින් ලබාදෙන තොරතුරු මත එම ගෙවීම සිදුකළ යුතු බව පොලිසිය පවසයි.
රථවාහන දඩ ගෙවීම සඳහා ශ්‍රී ලංකා රථවාහන පොලිසිය විසින් වෙනම වෙබ් අඩවියක් හඳුන්වා දී නොමැති බවත්, සැක සහිත සබැඳි මත ක්ලික් නොකරන ලෙසත්, බැංකු ගිණුම්, කාඩ්පත් සහ වෙනත් රහස්‍ය තොරතුරු කිසිවකුට ලබා නොදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි වංචාවකට හසුවී මුදල් අහිමි වී ඇති පුද්ගලයන් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසද පොලිසිය දැනුම් දී තිබේ.
එබැවින් රථවාහන දඩ මුදල් කඩිනමින් ගෙවන ලෙස බල කරමින් ජංගම දුරකථන වෙත ලැබෙන සැක සහිත පණිවුඩ නොසලකා හරින ලෙසත්, එහි ඇති සබැඳි විවෘත කිරීමෙන් වළකින ලෙසත් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.



