යාපනය නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරක චතුරස්‍රයේ තැන්පත් කර තිබූ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජික රාසයියා පාර්තිපන් හෙවත් ‘තිලීපන්’ගේ තාවකාලික ප්‍රතිමාව පොලිසිය මගින් ඉවත් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී විරෝධතාවක් පවත්වා ඇත.
එක්සත් රාජධානිය පදනම් කරගත් ‘දෙමළ ඊළාම් ස්වයං නිර්ණ අයිතිය උදෙසා වන ව්‍යාපාරය’ (MSDTE) මගින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සඳහා එක්වූ පිරිස, ලන්ඩන් නුවර ඩවුනින් වීථිය (Downing Street) අසල රැස්වී අනතුරුව බ්‍රිතාන්‍ය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය (FCDO) දෙසට පාගමනින් ගමන් කර තිබේ.
උතුරේ සිදුවන ස්මාරක ඉවත් කිරීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ අවධානය යොමු කරවීම මෙම විරෝධතාවයේ අරමුණ වූ බව සංවිධායකයෝ පැවසූහ.
මෙම ලන්ඩන් විරෝධතාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැත.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්, 1987 වසරේදී ඉන්දීය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් ආරම්භ කළ උපවාසය සනිටුහන් කරමින්, පසුගිය සැප්තැම්බර් 15 වන දින මෙම තාවකාලික ලෝකඩ ප්‍රතිමාව නල්ලූර්හිදී නිරාවරණය කර තිබුණි. ඔහුගේ 39 වැනි ගුණසමරුවට අදාළ කටයුතු සැප්තැම්බර් 26 වන දින අවසන් වීමෙන් පසු, පසුදින (සැප්තැම්බර් 27) අලුයම පොලිසිය විසින් මෙම ප්‍රතිමාව ඉවත් කිරීමට කටයුතු කර ඇත.
මෙම ඉවත් කිරීමත් සමඟ නල්ලූර් ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශ කිහිපයක විරෝධතා මතුවූ අතර, උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය ඇතුළු පිරිස් ප්‍රතිමාව නැවත ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත වූ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, අදාළ ප්‍රතිමාව ඉවත් කිරීමට පෙර පොලිසිය ඒ පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කර තිබූ බවයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බවත්, තහනම් සංවිධානයක සංකේත හෝ ධජ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා නීතිය අනුව ඉඩ නැති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි ක්‍රියාවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ජාතිවාදී උද්වේගයන් ඇති කිරීමට දරන උත්සාහයන්ට රජය ඉඩ නොතබන බවත් අවධාරණය කළේය. එමෙන්ම මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක්ද සලකා බලමින් පවතින බවද හෙතෙම පැවසීය.
බලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රතිමාව ඉවත් කිරීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නීතිමය තත්ත්වය සහ අධිකරණමය ක්‍රියාමාර්ග සමඟ බැඳී පවතින බවයි. කෙසේ වෙතත්, විරෝධතාකරුවන් සහ සංවිධායකයින් මෙම ක්‍රියාව හඳුන්වන්නේ දෙමළ ජනතාවගේ අනුස්මරණ අයිතියට එල්ල වූ බාධාවක් ලෙසයි.



