දේශගුණ විපර්යාස හේතුවෙන් ලොව පුරා අධික උණුසුම් තත්ත්වයන් වඩාත් තීව්‍ර වෙමින් පවතින අතර, එහි බලපෑම ගැබිනි මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන් වෙත ද වැඩි වශයෙන් එල්ල වෙමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී සයිමන් ස්ටීල් අවධාරණය කර තිබේ.
ෆීජිහි පැවැත්වෙන COP31 පූර්ව සමුළුවේදී අද (05) අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ ගැබිනි සමයේ දේශගුණික විපර්යාසයට සම්බන්ධ අධික උණුසුම, නොමේරූ දරු උපත්, මළ දරු උපත්, අඩු උපත් බර සහ මවගේ සෞඛ්‍ය සංකූලතා සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වන බවයි. “උෂ්ණත්වය ඉහළ යන තරමට ගැබ් ගැනීමේ අවදානමද ඉහළ යයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය වෘත්තිකයන් 1,000 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් වෙල්කම් ආයතනය විසින් 2026 සැප්තැම්බර් මාසයේ සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලද පදනම් කරගෙනය. එක්සත් රාජධානිය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය සහ සිම්බාබ්වේ යන රටවල ගර්භණී, දරු උපත්, පසු ප්‍රසව සහ අළුත උපන් දරුවන්ගේ සත්කාරයට සම්බන්ධ වෛද්‍යවරුන් හා වින්නඹු සේවිකාවන් ඊට එක්ව තිබේ.
එම සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 73ක් පසුගිය වසර පහ තුළ අධික උණුසුමට සම්බන්ධ ගැබිනි සංකූලතා වැඩි වී ඇති බව සඳහන් කර තිබේ. සියයට 76ක් භ්‍රෑණ හෝ අලුත උපන් බිළිඳුන්ට බලපාන උණුසුමට සම්බන්ධ සංකූලතා වැඩි වී ඇති බව පවසා ඇති අතර, සියයට 98ක් තමන් රැකබලා ගත් ගැබිනි මවකගේ සෞඛ්‍යයට අධික උණුසුම බලපා ඇති බවත්, සියයට 99ක් බිළිඳකුට එවැනි බලපෑමක් දැක ඇති බවත් සඳහන් කර ඇත.
ඉදිරි වසර පහ තුළ තවත් ක්‍රියාමාර්ග නොගතහොත් ගැබිනි මව්වරුන්, භ්‍රෑණයන් සහ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යයට අධික උණුසුමෙන් ඇතිවන අවදානම තවදුරටත් ඉහළ යනු ඇතැයි පෙන්වා දී තිබේ. තවද සියයට 92ක් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන් උණුසුමෙන් ආරක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වැඩි පුහුණුවක් සහ සම්පත් අවශ්‍ය බව පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනටමත් දේශගුණික විපර්යාස සහ අධික උණුසුම ගැබිනි මව්වරුන්ට හා බිළිඳුන්ට සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති කරන බව සඳහන් කරයි. අධික උෂ්ණත්වය නොමේරූ දරු උපත්, අඩු උපත් බර, මළ දරු උපත් සහ ගැබ් සමයේ අධි රුධිර පීඩනය වැනි සංකූලතා සමඟ සම්බන්ධ වී ඇති බව එහි විද්‍යාත්මක සමාලෝචන පෙන්වා දෙයි.
වෙල්කම් ආයතනය සඳහන් කරන පර්යේෂණ අනුව, උෂ්ණත්වයේ සෑම සෙල්සියස් අංශකයකම ඉහළ යාමකටම නොමේරූ දරු උපත් අවදානම සියයට 5කින් පමණ ඉහළ යා හැකි අතර, ගැබ් සමයේ දියවැඩියාව සහ ප්‍රසව සංකූලතාද ඉහළ යා හැකිය. උණුසුම් තත්ත්වයන් තුළ දරු උපත් සම්බන්ධ සංකූලතා ඉහළ යන බවටද පර්යේෂණ පෙන්වා දී තිබේ.
මෙහි බලපෑම සියලුම කාන්තාවන්ට සමාන නොවන බවද විශේෂඥයෝ පෙන්වා දෙති. දැඩි උණුසුමෙන් වැළකීමට නොහැකි එළිමහන් රැකියා කරන කාන්තාවන්, අධික උණුසුමට ලක්වන නිවාසවල ජීවත් වන කාන්තාවන් සහ සිසිලන පහසුකම්, පිරිසිදු ජලය හෝ සෞඛ්‍ය සේවාවන් වෙත සීමිත ප්‍රවේශයක් ඇති අය වැඩි අවදානමකට මුහුණ දෙති.
මේ අතර, දේශගුණික උණුසුම ඉහළ යමින් පවතින බවට නවතම ගෝලීය දත්තද පෙන්වා දෙයි. යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණ නිරීක්ෂණ සේවයට අනුව 2026 ජූලි මාසයේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.90ක් වූ අතර, එය 1991–2020 සාමාන්‍යයට වඩා අංශක 0.67කින් සහ කාර්මික යුගයට පෙර මට්ටමට වඩා අංශක 1.47කින් ඉහළ අගයකි. එය වාර්තාගත උණුසුම්ම ජූලි මාස අතර දෙවැනි ස්ථානයේ පැවති මාසයකි.
මෙම තත්ත්වය හමුවේ ගැබිනි මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන් දේශගුණික අනුවර්තන සහ උණුසුම් තත්ත්ව කළමනාකරණ සැලසුම්වලට ඇතුළත් කළ යුතු බව සයිමන් ස්ටීල් ප්‍රකාශ කර තිබේ. රෝහල්වල විදුලිය හා ජල සැපයුම, සෞඛ්‍ය සේවක පුහුණුව, උණුසුම් තත්ත්ව පිළිබඳ අනතුරු ඇඟවීම් සහ සුදුසු සිසිලන පහසුකම් වැනි ක්‍රියාමාර්ග කඩිනමින් ශක්තිමත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
COP31 පූර්ව අමාත්‍ය සමුළුව ඔක්තෝබර් 5 සිට 8 දක්වා ෆීජි, ටුවාලු සහ ඕස්ට්‍රේලියාවේ සහයෝගයෙන් පැවැත්වෙයි. පැසිෆික් කලාපය දේශගුණික විපර්යාසයේ පෙරමුණේ සිටින ප්‍රදේශයක් ලෙස මෙවර පූර්ව සමුළුවේදී එහි ජනතාවගේ අත්දැකීම් සහ දේශගුණික අවදානම් ජාත්‍යන්තර අවධානයට ගෙන ඒමට විශේෂ අවධානයක් යොමු කර තිබේ. COP31 ප්‍රධාන සමුළුව නොවැම්බර් 9 සිට 20 දක්වා තුර්කියේ ඇන්ටාලියා නුවර පැවැත්වීමට නියමිතය.



