29.6 C
Galle

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා

Published:

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ සංසදය සාකච්ඡා කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ඔහු සඳහන් කර ඇත්තේ 1996 පනත වෙනුවට නව නීතියක් හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡා වසර 30ක පමණ කාලයක් තිස්සේ පැවති බවයි.

ශ්‍රී ලංකාව 2016 වසරේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් කර තිබුණද, එම සම්මුතියට අනුකූල වන පරිදි මෙරට නීති පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් යාවත්කාලීන වී නොමැති බවද ඔහු පෙන්වා දී තිබේ.

2016 වසරෙන් පසු කැබිනට් මට්ටමින් ගත් තීරණ කිහිපයක් මත නව නීතියක් සකස් කිරීමේ කටයුතු සිදුකර තිබුණද, මුල් අරමුණු සහ පසුව සකස් වූ පනත් කෙටුම්පත් අතර වෙනස්කම් මතුව ඇති බැවින් ඒවා පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය වී ඇත.

අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කර ඇත්තේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික සභාවේ අනුකමිටුවක අදහස් ඇතුළත් ආදර්ශ පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවයි. එය සංශෝධනය කර නැවත අමාත්‍යාංශයට ලබාදී ඇති අතර, මේ වනවිට ජාතික සභාවේ අදහස් ලබාගැනීම සිදුවෙමින් පවතී.

නව නීතිය සකස් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර ලබාදී ඇති නිරීක්ෂණ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ සහ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූල ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

මෙහිදී ජාතික සභාව නියෝජනය කළ පාර්ශ්ව අවධාරණය කර ඇත්තේ “අප ගැන තීරණ අප නැතිව නොගත යුතුය” (Nothing About Us Without Us) යන මූලධර්මය අනුව ආබාධ සහිත පුද්ගලයන් නියෝජනය කරන ප්‍රජාව නීති සකස් කිරීමේ ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ කරගත යුතු බවයි.

නව පනත යටතේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා සමාන සේවා කොන්දේසි හා වැටුප්, සුදුසු රැකියා අවස්ථා, සේවා ස්ථානවල අවශ්‍ය සාධාරණ පහසුකම් සහ රාජ්‍ය අංශයේ රැකියා සඳහා පවතින ප්‍රතිශත වෙන්කිරීම් වඩාත් ශක්තිමත් කිරීම වැනි කරුණු පිළිබඳවද අවධානය යොමු වී ඇත.

වර්තමාන සමාජ හා ආර්ථික තත්ත්වයන්ට මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ටද ගැළපෙන නව නීතිමය රාමුවක් කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා පාර්ශ්ව අතර එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාවද සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාවට සංසදයේ සම සභාපති ආචාර්ය පත්මනාදන් සත්‍යලිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය නිහාල් අබේසිංහ, ජනාධිපති නීතිඥ සුසන්ත දොඩාවත්ත සහ පද්මසිරි බණ්ඩාර ඇතුළු අදාළ අමාත්‍යාංශ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික සභාවේ අනුකමිටු නිලධාරීන් සහභාගී වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!