රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ දූෂණය නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අද (07) පෙර්වරු 9.56 ට පමණ කිරුළපන, පූර්වාරාමයේ පිහිටි ඇගේ නිවසේදී ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
මෙම විමර්ශනය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය ‘සිරීලිය සවිය’ සංවිධානයේ මූල්‍ය කටයුතුවලට අදාළව සිදු කෙරෙන්නකි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ටොමෝග්‍රැෆි ස්කෑනර් (CT Scanner) යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් (NSB) රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන තිබුණි.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසම චෝදනා කරන්නේ එකී රුපියල් මිලියන 10ක මුදලින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත CT ස්කෑනර් යන්ත්‍රය ලබා දී නොමැති බවත්, එම රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් දූෂණය නමැති වරද මෙන්ම පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකර ඇති බවත්ය. විදේශගතව සිට පසුගියදා දිවයිනට පැමිණි ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ‘සිරීලිය සවිය’ සංවිධානයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේද ඉදිරියේදී පෙනී සිටීමට නියමිතව තිබුණි.
මේ අතර, හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා මෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපතිවරයා වන ප්‍රදීප් කාරියවසම් මහතාද මෙම ‘සිරීලිය සවිය’ ගිණුම පිළිබඳ විමර්ශනයට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ප්‍රදීප් කාරියවසම් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අධිකරණය විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.



