29.5 C
Galle

ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා

Published:

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 25කට ආසන්න මුදලක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 7.5ක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් සහ විමර්ශන ආරංචි මාර්ගවලට අනුව මෙම ජාවාරම සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හයක් යොදාගෙන ඇති අතර, විදේශීය සමාගම්වලින් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ගෙවීම් කරන බව පෙන්වමින් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් හෙවත් TT ක්‍රමය ඔස්සේ මෙම මුදල් විදේශගත කර ඇත. මෙම නීතිවිරෝධී මුදල් හුවමාරු කිරීම් 2024 ජනවාරි මාසයේ සිට 2025 ජූලි මාසය දක්වා කාලය තුළ සිදුව ඇති බවට විමර්ශකයන් අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත්, අදාළ ගෙවීම්වලට අනුරූප වන කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර ඇති බවට රේගු හෝ බැංකු වාර්තාවල සටහන් වී නොමැති අතර, මෙම මුදල් හුවමාරුව සම්පූර්ණයෙන්ම ව්‍යාජ ආනයන අරමුණක් වෙනුවෙන් සිදුකර ඇති බවට විමර්ශකයෝ සැක පහළ කරති.

මෙම සිද්ධිය මෙරට ක්‍රියාත්මක වන මහා පරිමාණ විදේශ විනිමය ජාවාරම් පිළිබඳ සිදුකෙරෙන පුළුල් විමර්ශනයක එක් අදියරක් ලෙස සැලකෙන අතර, ශ්‍රී ලංකා රේගුව කළ පැමිණිල්ලකට අනුව තවත් සමාගම් 17ක් පිළිබඳවද FCIDය පරීක්ෂණ පවත්වයි. මීට පෙරද මෙවැනිම චෝදනා මත සමාගම් 72කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබූ අතර, එකී සමාගම් සහ දැනට විමර්ශනය වන සමාගම් එකතුව 2023 ජනවාරි සිට 2025 සැප්තැම්බර් දක්වා කාලය තුළ කොළඹ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හරහා රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් විදේශගත කර ඇති බව කියැවේ. එමෙන්ම බ්‍රසීලය, පැනමාව, මොරිෂස් සහ මැඩගස්කරය වැනි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අධි අවදානම් සහිත රටවලටද මෙම මුදල් යවා ඇති බවට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, දැනට අත්අඩංගුවට ගෙන ඇති වැල්ලම්පිටියේ තරුණයා සම්බන්ධ සිද්ධියේදී යොදාගත් සමාගම් හයේ හිමිකරුවන් කවුරුන්ද, අදාළ මුදල් හුවමාරු කළ බැංකු සහ විදේශීය ලබන්නන් කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු විමර්ශන මට්ටමේ පවතින බැවින් තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැත. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ජාවාරමට සම්බන්ධ බැංකු නිලධාරීන් සහ අනෙකුත් පුද්ගලයන් සෙවීම සඳහා වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරනු ලබයි.

Related articles

spot_img
error: Content is protected !!