29.4 C
Galle

ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්

Published:

මුල් ළමාවිය සංවර්ධන සහ පෙරපාසල් ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින් 2027 වසරේ සිට දිවයින පුරා පිහිටි පෙරපාසල් සහ ළමාරක්ෂක මධ්‍යස්ථාන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) හා එක්ව ජාතික SLS ප්‍රමිතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි වසර සඳහා වන උපායමාර්ගික ඉලක්ක සැලසුම් කිරීම වෙනුවෙන් පැවැති අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඒ අනුව, මුල් ළමාවිය පෝෂණය, අධ්‍යාපනය සහ රැකවරණය උදෙසා සකස් කළ ජාතික පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව 2027 වසරේ මුල් භාගයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට අමතරව, පෙරපාසල් දරුවන්ගේ ධනාත්මක ආකල්ප සහ හැසිරීම් සංවර්ධනය උදෙසා ‘Clean Sri Lanka’ සංවිධානය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව ආරම්භ කළ ‘Step-Up’ වැඩසටහනේ ඊළඟ අදියරද 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

2025 වසරේදී හඳුන්වා දුන් මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික කලාප රාමුව හරහා ආරම්භ වූ මෙම පරිවර්තනය, ඉදිරි වසර කිහිපය තුළ මෙරට මුල් ළමාවිය අධ්‍යාපනය වඩාත් විධිමත් හා ව්‍යුහගත අධ්‍යාපන අදියරක් බවට පත්කිරීමේ වැදගත් සංධිස්ථානයක් වනු ඇති බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

Related articles

spot_img
error: Content is protected !!