29.4 C
Galle

දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්

Published:

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෞද්ධ විහාරස්ථානයකදී කුඩා දැරියන් හයදෙනකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සහ මාස දෙකක සිරදඬුවමක් නියම කර තිබේ. වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණය මෙම තීන්දුව ඊයේ (08) ලබාදී තිබේ. දඬුවම් කාලයෙන් අවම වශයෙන් වසර 9කුත් මාස 4ක් ගතකරන තුරු ඔහුට සමාව මත නිදහස් වීම සඳහා සලකා බැලීමට අවස්ථාව නොලැබෙන බවද අධිකරණය නියම කර ඇත.

මෙම සිද්ධිය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව අතර දැඩි අවධානයට ලක්ව ඇත්තේ, සැකකාර හිමියන් වසර ගණනාවක් එරට විහාරස්ථානයක ප්‍රධාන භික්ෂූන් වහන්සේ ලෙස කටයුතු කරමින් ප්‍රජාවගේ විශ්වාසය දිනාගෙන සිටි පුද්ගලයකු වීම හේතුවෙනි.

වසර අටක් පුරා සිදුවූ බවට අනාවරණය වූ අපයෝජන

අධිකරණයේදී හෙළි වූ කරුණු අනුව, මෙම අපයෝජන සිදුව ඇත්තේ 1994 සිට 2002 දක්වා කාලය තුළ මෙල්බර්න් නුවර ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ ප්‍රදේශවල පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේදීය.

විජිත හිමි විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ ලෙස කටයුතු කර ඇති අතර, දහම් පාසල් හා ආගමික වැඩසටහන්වලට සහභාගි වූ දැරියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමට ඔහුට අවස්ථාව ලැබී තිබේ.

නඩු විභාගයේදී අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව, රසකැවිලි, සෙල්ලම් බඩු සහ පොත් ලබාදෙන බව පවසමින් දැරියන් තමන් සිටි කාමරවලට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ අවස්ථා පිළිබඳව හෙළි වී ඇත. ඇතැම් සිදුවීම් සිදුවන අවස්ථාවල දැරියන්ගේ දෙමාපියන් ද විහාරස්ථානයේ වෙනත් ස්ථානවල සිටියද, සිදුවන දේ පිළිබඳව ඔවුන් දැන සිට නැති බව අධිකරණයට වාර්තා වී තිබේ.

මෙම සිදුවීම් විහාරස්ථානයේ ඔහුගේ නේවාසික කාමරය, ආගමික වතාවත් සිදුකරන ස්ථානයක් සහ දහම් පාසල පැවැත්වූ ස්ථානවලදී සිදුවූ බව නඩු විභාගයේදී අනාවරණය විය.ෙ

දැරියන් හයදෙනාගේ සාක්ෂි මත වරදකරු වෙයි

අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් හයදෙනා නඩුව විභාග වන අවස්ථාව වනවිට වයස අවුරුදු 30ට ආසන්න හෝ 30 ඉක්මවූ කාන්තාවන් බවට පත්ව සිටියහ. වාර්තාවලට අනුව, අපයෝජනය සිදුවන කාලයේ ඔවුන්ගේ වයස අවුරුදු 4ත් 12ත් අතර විය.

මෙම සිද්ධීන් සිදුවී දශක ගණනාවක් ගතවීම නඩු විභාගයේදී වැදගත් කරුණක් විය. විත්ති පාර්ශ්වය චෝදනා ප්‍රතික්ෂේප කරමින්, වසර 25ත් 30ත් අතර කාලයකට පෙර සිදුවූ බව කියන සිදුවීම් පිළිබඳ සාක්ෂිකරුවන්ගේ මතකයේ නිරවද්‍යතාව ප්‍රශ්න කළේය. ඇතැම් පැමිණිලිකාරියන් තමන්ට මතක නැති බවද විජිත හිමි ප්‍රකාශ කළ බව වාර්තා විය.

කෙසේ වෙතත්, සාක්ෂි සලකා බැලූ ජූරි සභාව චෝදනා 19න් 17කට ඔහු වැරදිකරු බව තීරණය කළේය. ඒ අතර වයස අවුරුදු 16ට අඩු දරුවකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම සම්බන්ධ චෝදනා නවයක් සහ දරුවකු සමඟ අශෝභන ක්‍රියාවල නිරතවීම සම්බන්ධ චෝදනා අටක් ඇතුළත් විය. ඉතිරි චෝදනා දෙක සම්බන්ධයෙන් ඔහු නිදොස් කර තිබේ‍ෙ

වින්දිත කාන්තාවන්ට දිගුකාලීන මානසික බලපෑම්

නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් කාන්තාවන් තමන් කුඩා කාලයේදී මුහුණදුන් සිදුවීම් වැඩිහිටි ජීවිතයටද බලපා ඇති ආකාරය විස්තර කර තිබේ.

ඔවුන්ගේ සාක්ෂි හා අධිකරණයට ඉදිරිපත් කළ වින්දිත බලපෑම් ප්‍රකාශවලින්, සිද්ධීන් නිසා ඇතිවූ බිය, ලැජ්ජාව, මානසික පීඩනය, පිරිමින් කෙරෙහි විශ්වාසය තැබීමේ අපහසුතා සහ සබඳතා පවත්වාගෙන යාමේ ගැටලු පිළිබඳව හෙළි වී ඇත. ආගමික වස්ත්‍ර දැකීම හෝ භික්ෂූන් වහන්සේලාගේ ගාථා ඇසීම පවා ඇතැම් වින්දිතයන්ට මානසික පීඩාවක් ඇති කරන බව අධිකරණයට දැනුම් දී තිබේ.

දඬුවම නියම කළ විනිසුරු පර්දීප් තිවානා පෙන්වා දී ඇත්තේ, ආගමික නායකයකු ලෙස විශාල විශ්වාසයක් දිනා සිටි විජිත හිමි එම විශ්වාසය බරපතළ ලෙස පාවා දී ඇති බවයි. දරුවන්ට ආරක්ෂිතව සිටිය හැකි යැයි විශ්වාස කළ ආගමික ස්ථානයකදී ඔවුන්ට සිදුවූ අපයෝජනයේ බරපතළකමද විනිසුරුවරයා අවධාරණය කර තිබේ.

2021 පැමිණිල්ලෙන් ආරම්භ වූ විමර්ශනය

මෙම සිද්ධිය පිළිබඳ නවතම පොලිස් විමර්ශනය ආරම්භ වී ඇත්තේ 2021දී ලැබුණු Crime Stoppers තොරතුරක් පදනම් කරගෙනය. පැමිණිලිකාරියන්ගෙන් එක් අයකු 2005දී පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව එය ඉදිරියට ගෙන නොගිය බව නඩු විභාගයේදී සඳහන් විය. ඇය 2022දී නැවත විධිමත් ප්‍රකාශයක් ලබාදී ඇති බවද වාර්තා වී තිබේ.

පොලිසියට පැමිණිලි කළ කාන්තාවන් හයදෙනාගේ සාක්ෂි මත විජිත හිමිට 2023දී චෝදනා ගොනු කෙරිණි. 2025 ඔක්තෝබර් මාසයේ පැවති ජූරි නඩු විභාගයෙන් ඔහු වරදකරු කරනු ලැබූ අතර, අවසන් දඬුවම නියම කිරීම සිදුකර ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් 8 වැනිදාය.

ශ්‍රී ලංකාවේ උපන්, ස්වීඩනයේ පුරවැසිභාවය ලබාගත් භික්ෂුවක්

අධිකරණයේදී ඉදිරිපත් වූ තොරතුරු අනුව, නාඔටුන්නේ විජිත හිමි ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු 15දී පැවිදි වී තිබේ. පසුව ස්වීඩනයට ගොස් එරට පුරවැසිභාවය ලබාගෙන ඇති ඔහු, 1994දී ඕස්ට්‍රේලියාවට පැමිණ ධම්ම සරණ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ ලෙස කටයුතු ආරම්භ කර ඇත.

ඔහුගේ වයස සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වය, ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇතුළු රෝගාබාධ සම්බන්ධ කරුණු විත්ති පාර්ශ්වය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහෙත් දඬුවම නියම කිරීමේදී සිදුකර ඇති වැරදිවල බරපතළකම සහ වින්දිතයන්ට සිදුවූ බලපෑම් සලකා බලා තිබේ.

සිරදඬුවම අවසන් වූ පසු ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඉඩ ඇති බවද අධිකරණ වාර්තාවල සඳහන් වේ. ඔහු ස්වීඩනයට ආපසු යාමට කැමැත්ත පළ කර ඇති බවද අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුවෙන් අවධාරණය වන්නේ ආගමික හෝ වෙනත් සමාජ නායකයකු වෙත පවතින විශ්වාසය දරුවන්ගේ ආරක්ෂාව සඳහා විකල්පයක් නොවන බවයි. දරුවන් සමඟ වැඩ කරන ඕනෑම පුද්ගලයකු සම්බන්ධයෙන් සුදුසු ආරක්ෂක ක්‍රමවේද පවත්වාගෙන යාමත්, දරුවකු තමන්ට සිදුවූ අයුතු ක්‍රියාවක් පිළිබඳව පවසන විට එය සැලකිල්ලෙන් අසා නිසි බලධාරීන් වෙත දැනුම්දීමත් වැදගත්ය.

මූලාශ්‍ර: ඕස්ට්‍රේලියානු ABC News, Australian Associated Press (AAP), The Morning.

Related articles

spot_img
error: Content is protected !!