29.6 C
Galle

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට

Published:

සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසා වෙනුවෙන් එම දඬුවම අභියෝගයට ලක් කරමින් සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් අද (11) ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා සහ සෞදි නීති කණ්ඩායම් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව සකස් කළ මෙම අභියාචනය, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මහතාගේ සම්බන්ධීකරණයෙන් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉදිරිපත් කර ඇත.

අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කර ඇත්තේ නබි මුහම්මද්තුමාට අපහාසයක් ලෙස සැලකුණු සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ අධිකරණයක් ලබාදුන් තීන්දුවකට අනුවය. මුල් නඩු තීන්දුවෙන් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම කර තිබුණද, පසුව අභියාචනාධිකරණය එම තීන්දුව වෙනස් කර මරණ දඬුවම නියම කර තිබේ.

අභියාචනය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂ නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට ගොස් තිබේ. එම කණ්ඩායමට අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ අසාර්ඩ් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරු ඇතුළත් වෙති.

මේ අතර, රියාද් නුවර ගුවන් තොටුපොළ ආශ්‍රිත ආරක්ෂක සිදුවීම් හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමට යළි මෙරටට පැමිණීමට නොහැකිව රියාද්හි රැඳී සිටීමට සිදුව තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය රියාද් වෙත සිදුකරන ගුවන් ගමන් ඔක්තෝබර් 18 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනය කර ඇත.

මේ අතර, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඔක්තෝබර් 8 වැනිදා දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේදී අනෝජන් සිවරාසා හමුවී ඔහුගේ සුවදුක් විමසා තිබේ. ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔහුට අවශ්‍ය කොන්සියුලර් සහ නීතිමය සහාය ලබාදීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය එරට ඉහළම අධිකරණය වන අතර, පහළ අධිකරණවල තීන්දු නීතිමය හා ක්‍රියාපටිපාටිමය කරුණු මත සමාලෝචනය කිරීම එහි ප්‍රධාන කාර්යයකි. අභියාචනය ඉදිරිපත් කර තිබුණද, එහි ප්‍රතිඵලය පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

Related articles

spot_img
error: Content is protected !!