28.7 C
Galle

සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති

Published:

සිරදඬුවම් විඳින බෞද්ධ භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුරු ඇඳගෙන යාමට අවසර ලබාදීම සඳහා නව බන්ධනාගාර රෙගුලාසි සති දෙකක් ඇතුළත සකස් කිරීමට රජය සැලසුම් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා සංඝරත්නයේ නියෝජිතයන් අතර ඔක්තෝබර් 8 වැනිදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් අධිකරණයට රැගෙන යාමේදී සිවුරු වෙනුවට සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටීම සම්බන්ධයෙන් මතු වූ මතභේදය ඊට පසුබිම් වී තිබේ.

1877 වසරේ බන්ධනාගාර ආඥා පනතේ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන නොමැති බැවින්, නීතියට අනුකූලව කටයුතු කළ නිලධාරීන්ට පෞද්ගලික නියෝග නිකුත් කිරීම වෙනුවට නීති සංශෝධනය කිරීම සුදුසු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

වසර තුනකට වැඩි සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කිරීමත්, එම ආගමික ආයතනයේ නිර්දේශය මත බන්ධනාගාරයෙන් පිටතට යන විට සිවුරු ඇඳීමට අවසර ලබාදීමත් මහ සංඝරත්නය විසින් යෝජනා කර තිබේ.

මේ සඳහා පවතින රෙගුලාසි සමාලෝචනය කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර, එහි පළමු රැස්වීම ඔක්තෝබර් 9 වැනිදා පැවැත්විණි.

කමිටුවේ යෝජනා මහ සංඝරත්නය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.

Related articles

spot_img
error: Content is protected !!