31.6 C
Galle

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්

Published:

බෙංගාල බොක්කේ ගිනිකොණදිග ප්‍රදේශයේ ඔක්තෝබර් 13 වැනිදා පමණ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බැවින්, ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

අද (12) පෙරවරු 11.00ට නිකුත් කළ විශේෂ නිවේදනයේ මේ බව සඳහන් වන අතර, දිවයින පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ආසන්න ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද වැසි වැඩිවිය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම පුරෝකථනය ජාත්‍යන්තර කාළගුණ අංශ විසින් ද තහවුරු කර තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (India Meteorological Department – IMD) ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ඉහළ වායුගෝලීය සුළි සංසරණයක් දකුණු අන්දමන් මුහුද දෙසට ගමන් කිරීමත් සමඟ ඔක්තෝබර් 13 වැනිදා පමණ බෙංගාල බොක්කේ ගිනිකොණදිග ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඊසානදිග හෝ විචල්‍ය සුළං පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වේගයකින් හමනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60–70 දක්වා තාවකාලිකව ඉහළ ගොස් මුහුද ඉතා රළු විය හැකි බවද අනතුරු අඟවා තිබේ.

එබැවින් ඉදිරි දින කිහිපයේදී ධීවර සහ නාවික කටයුතුවල නිරත පුද්ගලයන් විශේෂ අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. නිකුත් කරන නවතම කාලගුණ අනාවැකි හා නිල නිවේදන නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙසත්, අයහපත් කාලගුණ තත්ත්වයකදී මුහුදු යෑම පිළිබඳ තීරණ ගැනීමේදී නිල උපදෙස් අනුගමනය කරන ලෙසත් දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!