ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහලයේ අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටි එම විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් බිමට ඇදවැටී මියගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වලහන්දූව වත්ත, පූන කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි දිනේෂ් ලක්මාල් අඹගහවත්ත නැමැති එක්දරු පියෙකි.
පසුගිය ඔක්තෝබර් 09 වනදා සවස මෙම අනතුර සිදුව තිබේ. සිය පුතු රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන බැවින් පාසලට උපකාරයක් ලෙස විද්‍යාලයේ කන්නංගර ශාලාවේ තෙවැනි මහලේ වහලයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා ඔහු සිය ඥාති සහෝදරයෙකු සමඟ ගොස් ඇත.
ශාලාවේ ඇතුළත සිට ඉනිමඟක් තබා වහලයේ ‘මැක් ෆොයිල්’ කොටස් ඉවත් කරමින් සිටියදී, සමබරතාව ගිලිහී යාමෙන් ඔහු අඩි 25-30ක් පමණ උසකින් ශාලාවෙන් පිටත බිමට ඇදවැටී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහුව වහාම ගාල්ල ජාතික රෝහලට (කරාපිටිය) ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 10 වනදා සවස ඔහු මියගොස් ඇත.
දේහය පිළිබඳ මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා ඉදිරියේ පැවැත්විණි.
එහිදී සාක්ෂි ලබාදුන් මියගිය අයගේ බිරිඳ වන ජනනි අයේෂා කුලසිංහ මහත්මිය සඳහන් කළේ, සිය පුත්‍රයා ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොමු කර සැමියා පාසලේ අලුත්වැඩියා කටයුත්ත සඳහා පිටත්ව ගිය බවත්, අනතුර සැලවීමෙන් පසු රෝහලට යන විටත් ඔහු සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ සිටි බවත්ය.
සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමඟ සේවයේ නිරතව සිටි තොටගමුව හේවගේ වීරප්‍රිය සූපතිසේන මහතා සාක්ෂි දෙමින් පැවසූයේ, අනතුරුදායක තත්ත්වය නිසා කාර්යය අතහැර දමා යන ලෙස තමා පැවසූ නමුත් මියගිය තැනැත්තා ඉතිරි කොටසද අවසන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අවාසනාවන්ත ඇදවැටීම සිදුවූ බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය,
“මියගිය අයට අපි ගෙදරට කියන්නේ ‘බාසුරු’ කියලයි, ශාලාවේ උඩම තට්ටුවේ ඇතුල් පැත්තෙන් ඉනිමග වහලට තියලා ඉනිමගට නැගලා තමයි අපි වැඩ කලේ. මෙහි කොට බිත්ති තමයි තියෙන්නේ. මුලින් මම වැඩ කළා. බාසුරු මල්ලී ඉනිමග අල්ලගෙන හිටියා. ඉතිරි වෙලා තිබුණේ අමාරු කොටසක්. ඒක ඉනිමගේ නැගලා ඇදිලා තමයි කරන්න ඕන. මේක ටිකක් අනතුරුදායක නිසා මම කිව්වා වැඩේ අතෑරලා දාලා යමු කියලා. ඒත් බාසුරු මල්ලි කිව්වා එයා ඒ ටික ඉවර කරන්නම් කියලා. එයා ඉනිමගට නැගලා එක අතකින් වහලේ බාර් එකක් අල්ලගෙන මැක් ෆොයිල් එකේ දිරච්ච කෑලි කපලා අයින් කළා. මම ඉනිමග අල්ලගෙන හිටියා. කපලා ඉවර වෙලා බහින්න ලේස්ති වෙනකොට බැලන්ස් එක නැතිවෙලා වගේ ඔහු ඇද වැටුණා. ඔහු වැටුනේ ශාලාවේ පිට පැත්තට.”
අධිකරණ වෛද්‍ය නිලධාරී මධුවන්ති ජයසිංහ මහත්මිය විසින් සිදුකළ පශ්චාද් මරණ පරීක්ෂණ වාර්තාව, නිරීක්ෂණ සහ සාක්ෂි පදනම් කරගනිමින්, උසකින් වැටීමෙන් පපුවට සහ උදරයට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂකවරයා නිගමනය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.



