ඉන්දියාවේ ඡන්දදායක නාමලේඛන සංශෝධනයට එරෙහිව විරෝධතාවේ නිරත වන ‘කොක්රෝච් ජනතා පක්ෂයේ’ (Cockroach Janta Party – CJP) නායකයන් තිදෙනකු ඇතුළු පිරිසක් නවදිල්ලි නුවර ජන්තර මන්තර විරෝධතා භූමියට ඇතුළු වීමෙන් පසු පොලිස් භාරයට ගෙන තිබේ.
අඟහරුවාදා (13) අලුයම මෙම පිරිස ඉන්දීය ජාතික ධජ රැගෙන පොලිස් මාර්ග බාධක පසුකර ජන්තර මන්තර භූමියට ඇතුළු වී විරෝධතා සටන්පාඨ ප්‍රකාශ කර තිබේ. පක්ෂයේ නායක අභිජීත් දිප්කේ සමාජ මාධ්‍යයට එක් කළ වීඩියෝවකින් ද එම සිදුවීම පෙන්වා ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් සහ රොයිටර් පුවත් සේවා වාර්තා කරයි.
පොලිස් භාරයට ගත් පිරිස අතර අශුතෝෂ් රන්කා, සෞරව් දාස් සහ අජින්ක්‍ය ෂින්ඩේ යන අය සිටින බව වාර්තා වේ. ඔවුන් සමඟ තවත් ක්‍රියාකාරීන් පිරිසක්ද රඳවාගෙන ඇති අතර, නීති විරෝධී ලෙස ආරක්ෂක සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් වන බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කරයි.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ දිල්ලියේ දීර්ඝ කාලයක් විරෝධතා පැවැත්වීම සඳහා භාවිත කළ ජන්තර මන්තර ස්ථානය නිල විරෝධතා ස්ථානයක් ලෙස නම් කිරීම ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමෙන් දිනකට පසුවය. විරෝධතා සඳහා විකල්ප ස්ථාන තුනක් හඳුන්වා දී ඇති බවද බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
කොක්රෝච් ජනතා පක්ෂය මෙම විරෝධතා සංවිධානය කරන්නේ ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යාන්ෂේ කුමාර් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමිනි. ඡන්දදායක නාමලේඛන සංශෝධනයේදී නම් මිලියන 130කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර, එම ක්‍රියාවලිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) වාසි සැලසෙන ආකාරයෙන් ක්‍රියාත්මක වන බව විපක්ෂ කණ්ඩායම් චෝදනා කරති. මැතිවරණ කොමිසම සහ BJP එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර, අත්අඩංගුවේ පසුවන නායකයන් හමුවීමට තම නීතිඥයන්ට පොලිසිය අවසර ලබා නොදෙන බවට පක්ෂ නායක අභිජීත් දිප්කේ චෝදනා කර තිබේ. රඳවාගත් අය වෙන වෙනම ස්ථානවල තබා ඇති බවද ඔහු පවසා ඇත. එම චෝදනා සම්බන්ධයෙන් පොලිසියේ ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් වාර්තා වී නොමැත.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ඡන්දදායක නාමලේඛන සංශෝධනයට එරෙහිව දිල්ලියේ විරෝධතා උත්සන්න වෙමින් පවතින පසුබිමකය. සඳුදා රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පාගමනක නිරත වූ අතර, ඡන්දදායක නාම ඉවත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් පෙත්සමක්ද ඉදිරිපත් කළහ.



