අන්තරායකර අපද්‍රව්‍ය කළමනාකරණයේදී නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට රුපියල් මිලියන 20ක් දක්වා දඩ මුදල් සහ වසර දෙකක් දක්වා සිරදඬුවම් පැනවිය හැකි නීතිමය විධිවිධාන හඳුන්වා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ. එමෙන්ම, ප්‍රකාශිත තෙත්බිම් ආශ්‍රිතව අවසරයකින් තොරව තහනම් ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයන්ට රුපියල් මිලියන 1ත් 10ත් අතර දඩ මුදල් සහ සිරදඬුවම් පැනවීමටද නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගිය 10 වැනිදා ජාතික නාමල් උයනේ 36 වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි. පාරිසරික සංරක්ෂණය සම්බන්ධයෙන් රජය ප්‍රකාශවලට පමණක් සීමා නොවී ප්‍රායෝගික තීරණ ගෙන ඇති බව සඳහන් කළ ඇය, වසර 25කට පසු ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට හැකි වූ බවද පැවසුවාය.
මෙම නීති සංශෝධනය මේ වනවිටත් බලාත්මක කර තිබීම විශේෂත්වයකි. ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත 2026 ජුනි 24 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, කථානායකවරයාගේ සහතිකය ලැබීමෙන් පසු එය 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත බවට පත්වූයේ ජූලි 21 වැනිදාය. මෙම සංශෝධනවල අරමුණ පරිසර ආරක්ෂණ නීති ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම නියාමනය කිරීම සහ පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමයි.
නව නීති යටතේ නියමිත අන්තරායකර අපද්‍රව්‍ය ජනනය කිරීම, හැසිරවීම හෝ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීම සහ අදාළ ප්‍රමිතීන් අනුගමනය කිරීම වැදගත් වේ. එම විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේදී රුපියල් මිලියන 20ක් දක්වා දඩයක්, වසර දෙකක් දක්වා සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකිය. වරද දිගටම පවත්වාගෙන යන අවස්ථාවලදී දිනකට රුපියල් 150,000ක් දක්වා අතිරේක දඩයක් පැනවීමටද ප්‍රතිපාදන ඇත.
සෞඛ්‍යයට හෝ පරිසරයට අනතුරක් ඇති කළ හැකි ඝන, අර්ධ ඝන, ද්‍රව හෝ වායුමය අපද්‍රව්‍ය අන්තරායකර අපද්‍රව්‍ය ලෙස අර්ථ දක්වා ඇති අතර, ඒ යටතේ විශේෂයෙන් නියාමනය කරන අපද්‍රව්‍ය කාණ්ඩ ගැසට් මඟින් නියම කිරීමට පනතෙන් ප්‍රතිපාදන සලසා ඇත.
තෙත්බිම් සම්බන්ධයෙන්ද නව නීතිය මඟින් ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කර තිබේ. ඒ අනුව, නීතිය යටතේ ආරක්ෂා කිරීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති තෙත්බිමක් තුළ හෝ ඊට ඉහළින් අදාළ අවසරය නොමැතිව නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම වරදකි. එවැනි වරදකට රුපියල් මිලියන 1ත් 10ත් අතර දඩයක්, වසර දෙකක් දක්වා සිරදඬුවමක් හෝ දඬුවම් දෙකම පැනවිය හැකිය. සිදුවූ පාරිසරික හානිය නිවැරදි කිරීම හෝ තෙත්බිම යථා තත්ත්වයට පත් කිරීමද අධිකරණයෙන් නියම කළ හැකිය.
සංවර්ධන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමද මෙම සංශෝධනයේ තවත් අරමුණකි. අවශ්‍ය පාරිසරික නිර්දේශ ලබාගැනීම, අදාළ අනුමැති සහ බලපත්‍රවල කොන්දේසි පිළිපැදීම මෙන්ම නීති උල්ලංඝනය කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට ඇති බලතලද මෙහිදී වැදගත් වේ.
නාමල් උයන ආශ්‍රිත ජනතාවට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබාගැනීමේ අවස්ථාව උදාකර දී ඇත්තේ භූගත ජල සම්පත් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහනක් හේතුවෙන් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා කඳුවැටිය සහ විශාල නා වනාන්තරයක් පිහිටි ස්වාභාවික උරුමයක් වන ජාතික නාමල් උයන ආරක්ෂා කිරීමේ වැදගත්කමද එහිදී අවධාරණය විය.
මෙම නීති සංශෝධනවල සාර්ථකත්වය තීරණය වන්නේ දඩ මුදල් ඉහළ නැංවීමෙන් පමණක් නොව, ඒවා කෙතරම් කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්නේද, පරිසර හානි හඳුනාගෙන වැළැක්වීමට නිලධාරීන් කටයුතු කරන්නේද සහ හානි සිදුකරන පාර්ශ්ව වගවීමට ලක්කරන්නේද යන්න මතය. අන්තරායකර අපද්‍රව්‍ය පාලනය, තෙත්බිම් සංරක්ෂණය සහ සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම ශක්තිමත් කිරීම තුළින් මෙරට පාරිසරික ආරක්ෂණය වඩාත් විධිමත් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.



