මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරෙන ඉන්ෆ්ලුවන්සා රෝගයත් සමඟ ගර්භිණී මව්වරුන්ට එම රෝගය වැලඳීමෙන් බරපතළ සංකූලතා ඇතිවිය හැකි බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය සනත් ලැනරෝල් මහතා අනතුරු අඟවයි.
වාර්ෂිකව මෙම කාලයේදී ඉන්ෆ්ලුඑන්සා රෝගීන් වාර්තා වීම ඉහළ යන බවත්, ගර්භිණී මව්වරුන්ට රෝගය වැලඳුණු විට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් තත්ත්වය උග්‍ර වී නියුමෝනියාව වැනි සංකූලතා ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයද සඳහන් කරන්නේ මෙරට වසර පුරාම ඉන්ෆ්ලුඑන්සා රෝගය වාර්තා විය හැකි නමුත්, රෝගීන් සංඛ්‍යාව ඉහළ යන ප්‍රධාන කාලසීමා දෙකක් පවතින බවයි. ඒ අනුව මැයි සිට ජූලි දක්වාත්, නොවැම්බර් සිට ජනවාරි දක්වාත් රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දැකිය හැකිය.
ගැබිනි මව්වරුන් වැඩි අවදානමක
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගර්භිණී කාලයේදී ඉන්ෆ්ලුවන්සා වැලඳුණු කාන්තාවන්ට බරපතළ රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයන්ට සාපේක්ෂව වැඩිය. ඇතැම් අවස්ථාවල රෝහල්ගත කිරීමට සිදුවිය හැකි අතර, රෝගය උග්‍ර වුවහොත් නියුමෝනියාව ඇතුළු සංකූලතා ඇතිවිය හැකිය.
ශ්‍රී ලංකාවේ 2015 සහ 2016 වසරවලදී මාතෘ මරණවලින් සියයට 10ක් ඉන්ෆ්ලුවන්සා සමඟ සම්බන්ධ වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක සඳහන් වේ.
ගැබිනි මව්වරුන්ට අමතරව වයස අවුරුදු පහට අඩු දරුවන්, වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්, ඇදුම, දියවැඩියාව හා හෘද රෝග වැනි නිදන්ගත රෝග පවතින පුද්ගලයන් සහ ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන් ද ඉන්ෆ්ලුඑන්සා නිසා බරපතළ සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කාණ්ඩ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ.
රෝග ලක්ෂණ මොනවාද?
ඉන්ෆ්ලුවන්සා වැලඳුණු විට සාමාන්‍යයෙන් හදිසියේ උණ ඇතිවීම, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, හිසරදය, මාංශපේශී සහ ශරීර වේදනාව හා අධික වෙහෙස වැනි රෝග ලක්ෂණ මතු විය හැකිය.
කැස්ස හෝ කිවිසුම් යාම මඟින් පිටවන ශ්වසන බිඳිති හරහා මෙම වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට පැතිරිය හැකිය. රෝග ලක්ෂණ පමණක් සලකා ඉන්ෆ්ලුඑන්සා සහ අනෙකුත් ශ්වසන රෝග නිශ්චිතව වෙන්කර හඳුනාගැනීමද අපහසු බැවින්, අවශ්‍ය අවස්ථාවල වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු කරගැනීම වැදගත්ය.
රෝග ලක්ෂණ ඇත්නම් කළ යුත්තේ කුමක්ද?
විශේෂයෙන්ම ගර්භිණී මවකට උණ සහ ශ්වසන රෝග ලක්ෂණ ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කරයි. ගර්භිණී කාන්තාවන්ට ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇතිවූ විට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව එහි මාර්ගෝපදේශවල සඳහන් වේ.
හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ වේදනාව, නොනවත්වා වමනය හෝ රෝග ලක්ෂණ උග්‍රවීමක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.
රෝගය වළක්වාගැනීමට උපදෙස්
අත් නිතර සබන් යොදා සේදීම, කැස්ස හෝ කිවිසුම් යන විට නාසය සහ මුඛය ආවරණය කිරීම, රෝගී පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා අවම කිරීම සහ රෝග ලක්ෂණ ඇති විට නිවසේ රැඳී සිටීම රෝගය පැතිරීම පාලනය කිරීමට උපකාරී වේ. සෙනඟ ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණයක් භාවිත කිරීමද සුදුසු පියවරකි.
ඉන්ෆ්ලුවන්සා එන්නත රෝගය වැළැක්වීමේ වැදගත් ක්‍රමයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ගර්භිණී මව්වරුන් එන්නත ලබාගැනීම පිළිබඳව තම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාගෙන් හෝ සායනික වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත හැකිය.
මූලාශ්‍ර: ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකය, ලෝක සෞඛ්‍ය සංවිධානය



