මාර්ගවල ධාවනය වෙමින් පරිසරයට අධික දුම පිටකරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ‘Emission Eye’ නමින් විශේෂ ඡායාරූප ඒකකයක් ස්ථාපිත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන අංශය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිත මාර්ගවල උපායශීලී ස්ථානවල රැඳී සිටිමින් අධික ලෙස දුම පිටකරන වාහන ඡායාරූපගත කිරීමට නියමිතය. එහි විශේෂත්වය වන්නේ වාහන නතර කර පරීක්ෂා කිරීමකින් තොරව, දෘශ්‍ය දුමාරය පදනම් කරගෙන අදාළ වාහන හඳුනාගැනීමයි.
ඡායාරූප සාක්ෂි මත පදනම්ව අදාළ වාහන හිමියන්ට එදිනම නඩත්තු නියෝග නිකුත් කිරීමටද සැලසුම් කර තිබේ. එවැනි නියෝගයක් ලැබෙන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර නියමිත දිනයේදී බොරලැස්ගමුව, වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ යුතුය.
එම නියෝගවලට ප්‍රතිචාර නොදක්වන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ අසාධු ලේඛනගත කිරීමටද නියමිතය. එවැනි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී හෝ හිමිකාරිත්වය පැවරීමේදී බාධා ඇතිවිය හැකිය.
කෙසේවුවද Emission Eye වැඩසටහන සම්බන්ද තොරතුරු නිකුත් කර ඇති නමුත්, එහි නිශ්චිත දියත් කිරීමේ දිනය, නිලධාරීන් හෝ කැමරා ගණන, ආවරණය වන නගර හෝ නිවේදන කීයක් නිකුත් කර ඇත්ද යන්න තවමත් තහවුරු කර නොමැත.
වායු දූෂණය මෙරට මහජන සෞඛ්‍යයට බලපාන ප්‍රධාන පාරිසරික ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව, වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 7,000ක් පමණ අකාලයේ මියයන බව සඳහන් කර ඇත. රථවාහනවලින් නිකුත් වන දුමාරයද මෙම දූෂණයට දායක වන බැවින්, එය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ.
වාහන වායු විමෝචන වැඩසටහන මඟින් මීට පෙරද වාහනවලින් පිටවන දුම පාලනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, නව ‘Emission Eye’ ඒකකය හරහා මාර්ගයේ ධාවනය වන වාහන සම්බන්ධයෙන් නිරීක්ෂණ සහ නීති ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම කිරීම අපේක්ෂා කෙරේ.



