29.4 C
Galle

නවි පිල්ලේට ලැබුණු ජාත්‍යන්තර ඇගයීම සහ ශ්‍රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය

Published:

2026 වසර සඳහා වන නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතික ප්‍රකට මානව හිමිකම් නීතිඥවරියක වන නවනීතම් “නවි” පිල්ලේ (Navanethem “Navi” Pillay) මහත්මිය වෙත පිරිනැමීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව තීරණය කර තිබේ. නොබෙල් කමිටුවේ නිල නිවේදනයට අනුව, ජාත්‍යන්තර සාමය සහ නීතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇය ලබා දුන් දායකත්වය අගය කිරීමක් ලෙස මෙම සම්මානය පිරිනමා ඇත. කෙසේ වුවද, ඇයගේ මෙම ජාත්‍යන්තර ඇගයීමත් සමඟ, ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ මැදිහත්වීම පිළිබඳව වූ දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික සංවාදයන් නැවත වරක් කරළියට පැමිණ තිබේ.

නවනීදන් පිල්ලේ 1941 වසරේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේදී ඉන්දීය දෙමළ සම්භවයක් සහිත පවුලක උපත ලැබුවාය. වර්ණභේදවාදය පැවති සමයේ හැදී වැඩුණු ඇය, එම පාලන ක්‍රමය යටතේ වාර්ගික වෙනස්කම් කිරීම හා අසාධාරණයට මුහුණ දුන්නාය. පසුව නීතිඥවරියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය, 1967දී නටාල් පළාතේ නීති වෘත්තියක් ආරම්භ කළ පළමු කළු ජාතික කාන්තාව බවට පත්වූවාය. වර්ණභේදවාදයට එරෙහි ක්‍රියාකාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ඇය, කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්ද කටයුතු කළාය. 1995දී දකුණු අප්‍රිකානු මහාධිකරණයේ විනිසුරුවරියක ලෙස පත්වූ ඇය, පසුව රුවන්ඩා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ සභාපතිනිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියක ලෙස සේවය කළාය. 2008 සිට 2014 දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ලෙසද ඇය කටයුතු කළාය.

ඇය සිය මූලික උසස් අධ්‍යාපනය ඩර්බන්හි නටාල් විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර, 1963දී ශාස්ත්‍රවේදී (BA) උපාධියත් 1965දී නීතිවේදී (LLB) උපාධියත් සම්පූර්ණ කළාය. ඉන් අනතුරුව හාවඩ් විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වූ ඇය, 1982දී නීතිය පිළිබඳ ශාස්ත්‍රපති (LLM) උපාධියත් 1988දී නීති විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (SJD)ත් ලබාගත්තාය. හාවඩ් නීති පීඨයෙන් එම ආචාර්ය උපාධිය ලබාගත් පළමු දකුණු අප්‍රිකානුවා ලෙසද ඇය සැලකේ. ජාත්‍යන්තර නීතිය හා මානව හිමිකම් පිළිබඳ ඇය ලබාගත් විශේෂඥ දැනුම, පසුකාලීනව යුද අපරාධ, ජන සංහාර සහ මානවත්වයට එරෙහි අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර යුක්තිය තහවුරු කිරීම සඳහා ඇය කළ කාර්යභාරයට පදනමක් විය.

ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ නවි පිල්ලේ මහත්මිය සලකනු ලබන්නේ යුද අපරාධ, වාර්ගික සංහාරයන් සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවලට එරෙහිව බියෙන් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගත් පුරෝගාමී චරිතයක් ලෙසය. විශේෂයෙන්ම, රුවන්ඩා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICTR) විනිසුරුවරියක ලෙස කටයුතු කරමින් “යුද සමයක සිදුවන ස්ත්‍රී දූෂණය යනු වාර්ගික සංහාරයක මෙවලමක්” ලෙස ලෝක නීති ඉතිහාසයේ ප්‍රථම වරට අර්ථකථනය කිරීමට ඇය මූලික වූවාය. බටහිර බලවතුන්ගේ ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම මෑතකදී ගාසා තීරයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ද ඇය අපක්ෂපාතී ස්ථාවරයක සිටිමින් විමර්ශන මෙහෙයවූ බව ඇගේ පාර්ශවකරුවන් පෙන්වා දෙයි.

කෙසේ වුවද, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇය අනුගමනය කළ ක්‍රියාමාර්ග දේශීය වශයෙන් දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන්ම 2012 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය (UNHRC) තුළ පළමු යෝජනාව සම්මත කරගන්නා අවස්ථාවේදී ඇය ඉටුකළ භූමිකාව සහ 2013 වසරේ ඇය මෙරට සිදුකළ සංචාරයෙන් පසු මෙරට අභ්‍යන්තර නීති පද්ධතිය විවේචනය කිරීම එවකට පැවති ශ්‍රී ලංකා රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. ලංකාවේ ස්වෛරීභාවයට සහ අභ්‍යන්තර කටයුතුවලට බාහිරින් බලපෑම් කිරීමටත්, මෙරට ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් පූර්ව නිගමන සහිතව කටයුතු කිරීමටත් ඇය කටයුතු කළ බවට දේශීය විචාරකයන් සහ දේශපාලන අංශ තර්ක කළහ.

නවි පිල්ලේ මහත්මියට 2026 නොබෙල් සාම ත්‍යාගය හිමිවීම, ජාත්‍යන්තර මට්ටමින් යුක්තිය සහ මානව හිමිකම් වෙනුවෙන් කළ කැපවීමක් අගය කිරීමක් ලෙස ලෝකය දකින අතරතුර, ශ්‍රී ලංකාව වැනි ස්වෛරී රාජ්‍යයන් තුළ ඇගේ මැදිහත්වීම දෙස බලන්නේ ජාත්‍යන්තර ආයතන සතු දේශපාලනික න්‍යාය පත්‍රයන්හි දිගුවක් ලෙසය.

මේ අනුව, ඇයගේ සමස්ත දායකත්වය දෙස බැලීමේදී, ඇය ලෝකයේ වින්දිතයන් වෙනුවෙන් හඬ නැඟූ නීතිවේදිනියක මෙන්ම, සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිරෝධයට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ද්විත්ව කියවීමකට ලක් කළ හැකිය.

අමල්ෂි ගමගේ

Related articles

spot_img
error: Content is protected !!