28.8 C
Galle

දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්

Published:

සයිප්‍රසයේ හෝටලයක සිව්වැනි මහලේ ජනේලයකින් වැටී දෙහැවිරිදි පුතු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් බ්‍රිතාන්‍ය ජාතික පියකුට යුරෝ 3,000ක (ස්ටර්ලිං පවුම් 2,500ක පමණ) දඩයක් නියම කිරීමට සයිප්‍රසයේ දිස්ත්‍රික් අධිකරණය තීරණය කර තිබේ.

ජෝෂුවා ෆොස්ටර් නමැති 37 හැවිරිදි පුද්ගලයාට මෙලෙස දඩ නියම කර ඇත්තේ නොසැලකිලිමත්, හදිසි හෝ අනතුරුදායක ක්‍රියාවකින් මරණයක් සිදුකිරීමේ චෝදනාව පිළිගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත්, අධිකරණය ඔහුට සිරදඬුවමක් නියම කර නැත.

මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය ජූලි 12 වැනිදා ඔවුන්ගේ සයිප්‍රස් නිවාඩුවේ පළමු දිනයේදීය. ක්ලොරකාස් ප්‍රදේශයේ පිහිටි තරු පහේ කිං එවෙල්තන් බීච් හෝටල් ඇන්ඩ් රිසෝට් හෝටලයේ නවාතැන්ගෙන සිටි ෆොස්ටර් සිය පුතුට පිටත පිහිටි ජල ක්‍රීඩා උද්‍යානය පෙන්වීමට ජනේල කවුළුව මත තබා තිබේ.

ජනේලය වසා ඇති බව ඔහු සිතා සිටියද, එහි එක් කොටසක් විවෘතව තිබී ඇති බව අධිකරණයේදී අනාවරණය විය. දරුවා අතින් ගිලිහී සිව්වැනි මහලෙන් පහළට වැටී ඇති අතර, ඔහු පැෆොස් මහ රෝහලට රැගෙන ගියද මියගොස් ඇති බව ප්‍රකාශ කර තිබේ.

නඩු විභාගයේදී විනිසුරුවරිය සඳහන් කර ඇත්තේ ජනේලය විවෘතව තිබූ බව පහසුවෙන් හඳුනාගත හැකි සලකුණු එහි නොතිබූ බවත්, දරුවා අනතුරකට හිතාමතා නිරාවරණය කළ බවට සාක්ෂි නොමැති බවත්ය. එය මාරාන්තික ප්‍රතිඵලයක් ඇති කළ මොහොතක අත්වැරැද්දක් ලෙස ද විනිසුරුවරිය විස්තර කර තිබේ.

ෆොස්ටර්ගේ රුධිරයේ මත්පැන් තිබූ බව අනාවරණය වුවද, ඔහුගේ ක්‍රියාකාරීත්වය මත්පැන් නිසා අඩාල වී තිබූ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අධිකරණය සලකා ඇත. ඔහුට පෙර අපරාධ වාර්තාවක් නොමැතිවීම සහ වරද පිළිගැනීම ද දඬුවම තීරණය කිරීමේදී සලකා බැලූ කරුණු අතර විය.

සිද්ධියෙන් පසු ෆොස්ටර් දින අටක් රඳවා තබාගෙන තිබූ අතර, එම කාලය තුළ සිය දියණියට දුරකථනයෙන් සිදුවූ දේ පැහැදිලි කිරීමට සිදුවූ බව ඔහුගේ නීතිඥ ඇලෙක්සැන්ඩ්‍රොස් ඇලෙක්සැන්ඩ්‍රෝ පැවසීය. නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔහුට සිය බිරිඳ සහ දියණිය සමඟ නැවත එක්වීමට බලාපොරොත්තු වන බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පවුල නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ නීතිමය ක්‍රියාවලිය අවසන් වීම පිළිබඳ සහනයක් දැනුණද, මෙම ඛේදවාචකයේ ප්‍රතිවිපාක තමන්ට කිසිදා අවසන් නොවන බවයි. “අපේ පුතාට අපි ගැඹුරින් ආදරය කළා. ඔහු සදහටම අපට අහිමි වූ අයෙක්. ඔහුගේ අහිමිවීම අපි සෑම දිනකම දරාගෙන සිටිනවා” යනුවෙන් පවුල සඳහන් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!