27.7 C
Galle

හෝමාගම පොලිස් අත්අඩංගුවේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

Published:

හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු මියගිය බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොමිෂන් සභාව මෙම විමර්ශනය ස්වයං මැදිහත්වීමෙන් ආරම්භ කර ඇත්තේ HRC/SUO/MOTU/13/26 යන යොමු අංකය යටතේය. සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙන්ම මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි දෙකක්ද විමර්ශනයට පදනම් වී තිබේ.

මූලික විමර්ශනවල කොටසක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හෝමාගම පොලිස් ස්ථානයට ගොස් තොරතුරු ලබාගෙන ඇත. එමෙන්ම මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

කොමිෂන් සභාව සඳහන් කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳව තමන් නිකුත් කර ඇති මානව හිමිකම් මාර්ගෝපදේශවලට අදාළ පොලිස් නිලධාරීන් අනුකූලව කටයුතු කර නොමැති බව මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, මෙය අවසන් තීරණයක් නොවන අතර, සම්පූර්ණ විමර්ශනයෙන් පසුව පමණක් සිද්ධියට අදාළ අවසන් නිගමනයක් නිකුත් කරන බව කොමිෂන් සභාව පවසයි.

පොලිස් නිලධාරීන්ට කැඳවීමක්

සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන්ට ඔක්තෝබර් 29 වැනිදා පස්වරු 1.30ට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ. මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්දයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ නිල වාර්තාවද අදාළ වෛද්‍ය නිලධාරියාගෙන් කැඳවීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.

මාධ්‍ය වාර්තා අනුව, කිරිවත්තුඩුව මුණමලේවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක්දරු පියෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශනයක් සඳහා හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. පවුලේ ඥාතීන් චෝදනා කර ඇත්තේ ඔහු පොලිස් ස්ථානයේදී බරපතළ ලෙස පහරදීමකට ලක්ව සිටි බවත්, පසුව රෝහල්ගත කරන අවස්ථාව වන විට ඔහු මියගොස් සිටි බවත්ය.

එම චෝදනා සම්බන්ධයෙන් පොලිස් පාර්ශ්වය වෙනස් කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ සැකකරු සිරමැදිරියේ සිටියදී හදිසියේ අසනීප වූ බවත්, ඔහු වහාම රෝහලට යොමු කළ බවත්ය.‍ෙ

වසර පහකට අඩු කාලයකදී මරණ 79ක්

හෝමාගම සිද්ධිය පිළිබඳ විමර්ශනය අතරතුර, පොලිස් අත්අඩංගුවේදී සහ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුවන මරණ පිළිබඳ පුළුල් ගැටලුවක්ද මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.

කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සමාලෝචනය කිරීමේදී, 2020 ජනවාරි සිට 2025 මාර්තු 31 දක්වා පොලිස් අත්අඩංගුවේදී මරණ 49ක් වාර්තා වී ඇති බව සඳහන් කරයි. එම කාලය තුළ අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලදී තවත් මරණ 30ක් සිදුවී ඇති බවද කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 79කි.

පොලිස් ස්ථාන වෙත මාර්ගෝපදේශ

අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ මරණ වැළැක්වීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව මීට පෙර විශේෂ මාර්ගෝපදේශ සකස් කර තිබේ. ඒවා පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පොලිස් චක්‍රලේඛයක් මඟින් සියලුම පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බව කොමිෂන් සභාව පවසයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ 2023 වාර්ෂික වාර්තාවේද පොලිස් අත්අඩංගුවේදී සහ පොලිසිය සමඟ ඇති වන ගැටුම්වලදී සිදුවන මරණ වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබඳ සඳහන් කර තිබේ. එම වාර්තාව අනුව, අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සහ පොලිස් ස්ථාන හා රඳවා තැබීමේ ස්ථාන නිරීක්ෂණය කිරීමද කොමිෂන් සභාවේ ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු සැකකරුවෙකු වුවද, ඔහුගේ ජීවිතය, ශාරීරික ආරක්ෂාව සහ මානව ගෞරවය ආරක්ෂා කිරීම පොලිසියේ වගකීමකි. එම වගකීම ඉටු නොවූ බවට චෝදනා එල්ල වන සෑම අවස්ථාවකදීම ස්වාධීන, විනිවිදභාවයෙන් යුතු සහ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ විමර්ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.

හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ වාර්තාව, ඥාතීන්ගේ ප්‍රකාශ, පොලිස් වාර්තා සහ අනෙකුත් සාක්ෂි සලකා බැලීමෙන් පසුව මානව හිමිකම් කොමිෂන් සභාවේ අවසන් නිගමනය නිකුත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!