24.8 C
Galle

නැදුන්ගමුවේ රාජාගේ පාවඩ කතාව බොරුවක්. ඇතාට ආගමික හැඟීම් හා ශ්‍රද්ධාව නෑ

Published:

දළදා කරඬුව රැගෙන දළදා මාළිගාවේ වාහලකඩින් පිටතට එන නැදුන්ගමුවේ රාජා පසෙකට වී තිබූ පාවඩය හොඬයෙන් සකසා ගන්නා බවත් එය ඇතා තම බුද්ධි මහිමයෙන් සහ දළදා වහන්සේ පිළිබඳ උපන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිදුකරන ආශ්චර්යමත් දෙයක් යැයි ගෙනයන ප්‍රචාරය පදනම් විරහිත මිත්‍යාවක් බව සත්ව විද්‍යාඥයෝ කියති.

මෙරට ඇතැම් ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන පවා මේ මිත්‍යාවට විශාල ඉඩක් ලබාදෙමින් එය තම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ පවා ප්‍රචාරය කළ අතර ඇතා පාවඩය හැදූ බව කියන අවසන් රන්දෝලි පෙරහැර දිනයේ අලි කුලප්පු වී සිදුවූ කලබලය වාර්තා කළේ නැත.

එයින් පෙනී යන්නේ මෙරට ප්‍රධාන මාධ්‍යයැයි තවමත් සළකන ඇතැම් මාධ්‍ය ආයතන මිත්‍යා විශ්වාසයන් ජනතාව අතර ප්‍රචාරය කරනවා හැර සත්‍ය දැනගැනීමට මෙරට පොදු ජනතාවට ඉඩක් නොදෙන බවයි.

අලියා සහ ඇතා යන නම් දෙකෙන්ම හඳුන්වන Elephas Maximus ලෙස සත්ව විද්‍යාත්මක හඳුන්වන මේ සත්ව විශේෂය පොදුවේ ආසියානු අලියා ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවේ සිටින්නේ ආසියානු අලියාගේ උප විශේෂයක් වන අතර ඔවුන් සත්ව විද්‍යාතමකව Elephas maximus maximus ලෙස හැඳින්වේ.

නැදුන්ගමුවේ රාජා යනු ඉන්දියාවෙන් මෙරට ලැබුණු දළ ඇතෙකි. එනම් Elephas Maximus විශේෂයේ සත්වයෙකි. අලියා ගොඩබිම වෙසෙන විශාලතම සත්ව විශේෂය වන අතර ආසියානු අලියා අප්‍රිකානු අලියාට වඩා තරමක් කුඩා වේ.

තම දැවැන්ත ශරීරය නිසාම අලියෙකු අසීරු ස්ථානවලින් පාද තබන්නේ බොහෝ ප්‍රවේශමෙනි. වනයේ සැරි සරන අලි පවා කඳු නැගීමේ ශූරයෝය. තම දැවැන්ත ශරීරය මනාව සමබර කරගනිමින් අසීරු ස්ථානවලින් හෙමින් හෙමින් ගමන් කිරීමේ දී ඉඩ, අවකාශ හා පාද තබන ස්ථානයේ ස්වභාව තේරුම් ගැනීම අලි සහ ඇතුන් තම හොඬය භාවිතා කිරීම ඔවුන්ට ලැබුණු පරිනාමීය පුරුද්දකි.

වනයෙන් අල්ලාගෙන විත් දස වද දී කුඩා කල සිට හීලෑ කරගෙන ඇති මේ දැවැන්ත හස්තියා (බොහෝ දෙනකු පවසන්නේ ආසියාවේ සිටින උසම හීලා අලියා ලෙසිනි) කුඩා හෙණ්ඩුවට දැඩි භියක් දක්වන අතර වසර ගණනක් හෙණ්ඩුවෙන් තමන්ව භියට පත්කරන ඇත්ගොව්වාට ද භිය වන අතර ඔහුගේ අණට කීකරු වන්නේ එසේ නොවුණහොත් හෙණ්ඩුවේ උලත් කොක්කත් තම සම සිදුරු කිරිමෙන් ඇතිවන වේදනාව හොඳින්ම දන්නා බැවිනි.

නැදුන්ගමුවේ රාජාද හෙණ්ඩුවේ බලයෙන් හීලෑ කළ, කැලයෙන් අල්ලාගත් අලියෙකි. නැතිව ආත්ම ගණනක් පෙරුම්පුරාගෙන පැමිණ “අනේ මට දළදා වහන්සේ වඩමවන්නට ඉඩ දෙන්න” යැයි කියමින් මිනිසුන් අතරට ආ අලියෙකු නොවේ.

අදට ද ඇත් ගොව්වා සහ රාජාගේ හිමිකුරුවන් කවර දෙයක් කීව ද සත්‍යයනම් ඇතාගේ පාදවලට යදම් දමා බැඳ තිබීමයි. හෙණ්ඩුවෙන් භියට පත්කර අණ දී ඒ අණ අනුව ක්‍රියාතමක කරවීමයි. ඇතා දණ ගසන්නේත්. නවතින්නේත්, ගමන් කරන්නේත් හෙණ්ඩුවට ඇති භියට මිස තම වුවමනාවට නොවේ. ඇතාගේ වුවමනාවට යන ගමන් සියල්ල ඇත්ගොව්වා පාලනය කරයි.

නැදුන්ගමුවේ රාජාගේ පිටමත හෝ වෙනත් අලියකුගේ පිටමත හෝ රන්සිවි ගෙයක් බැඳ ඒ මත කරඬුවක් තැන්පත් කරන විට ඇතාට අමතර බරක් දැරීමට සිදුවෙයි. එමෙන්ම අමතර පටි කිහිපයක් ද ඇඟ හරහා ඇද ඒවා හොඳින් තද කරනු ලබයි. මෙය ඇතාට සැබැවින් ම වේදනාවකි.

කරඬුව රැගත් නැදුන්ගමුවේ රාජාට දළදා මාළිගාවෙන් පිටතට පැමිණෙන්ට ඇති වාහල්කඩ පටු ස්ථානකි. එමෙන්ම එතැන පඩි කිහිපයක් ද තිබේ. අලියාට අන්දවා ඇති ඇඳුම නිසා ඔහුට තම ගමන්මාර්ගය ද පැහැදිලි නැත.

අලියා පඩි බසින්නේ සීරුවෙන් අඩිය තබමිනි. කරඬුව බැඳි ඇතකු නොව වනයේ සිටින අලියකු ගලින් ගලට යන්නේ ද ඒ ආකාරයෙන් බව ආගමික උන්මාදයෙන් පෙළෙන අය නොදන්නවා වූවාට සත්ව විද්‍යාඥයෝ ඒ ගැන හොඳින්ම දනිති.

නැදුන්ගමුවේ රාජා තම පාද පාවඩයෙන් පිටතට තබන්නේ නැතැයි ඇතැමුන් කීව ද ජනමාධ්‍ය හා සමාජමාධ්‍ය ඔස්සේ පෙන්වන දර්ශන වලින්ම පෙනී යන්නේ ඇතාගේ දම්වැල් යෙදූ පාද දෙකෙන් එක් පාදයක් පැහැදිලිවම සුදු පැහැති පාවඩයෙන් පිටත තිබෙන බවයි. එක් පඩියක් මත සිටින ඇතා ඊට පහළින් ඇති පඩියට පාද තැබීමට පෙර තමන්ට එතැන සුදුසුදැයි බලන්නේ එම සත්ව විශේෂය පරිනාමිකව උරුම වූ පුරුද්ද උපයෝගී කරගනිමිනි. එනම් හොඩය තබා පඩිය ගැන සැළකිලිමත් වෙයි. නැවි නැදුන් ගමුවේ රාජා සුදු පාවඩය සකසනවා යැයි යන්න පිළිගත නොහැකි කරුණකි.

ඉතාමත් දීර්ඝ කාලයක් මෙරට අලි ඇතුන් ගැන පර්යේෂණ සිදුකරන සත්ත්ව විද්‍යාඥයකු මෙන්ම සංරක්ෂණ හා පර්යේෂණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ඒ පිළිබඳ මෙසේ පවසයි.

“නැදුන්ගමුවේ රාජා ඇතා පඩිපෙළ බසිද්දී සුදු පැහැති පාවඩය තම හොඬයෙන් සැකසුවා කියා ප්‍රවෘත්ති විකාශනවල යන දර්ශන සහ ඒ සම්බන්ධ තවත් දර්ශන මා නැරඹුවා. මෙය අමුතු දෙයක් නෙවෙයි. අලින් අසීරු සහ අවදානම් තැන්වලින් ගමන් කරද්දී තමන් පාදය තියන තැන හොඬයෙන් පරීක්ෂා කරනවා. මේ ඇතාගේ හොඬවැල බිම වදිනවා. එයා එක පැත්තක සිට අනෙත් පැත්තට හොඬය ගෙනයමින් තමන්ට එතැනට පාදය තැබිය හැකිද කියා බලනවා. ඒක වන අලින්ගෙත් සිරිතක්. එය ඔවුන්ගේ බුද්ධිය හෝ ශ්‍රද්ධාව නිසා කරන දෙයක් නෙවෙයි. පරිනාමික ලක්ෂණයක්. එයා හොඬවැල ගෙනයද්දී අර පාවඩය වෙනස් වෙනවා. ඉතින් ඒකට මේ වගේ මිත්‍යා විශ්වාස ප්‍රවර්ධනය කරන ප්‍රචාරයක් දිම වැරදියි. අපි මේවා විද්‍යාත්මකව තේරුම්ගත යුතුයි.”

ආචාර්ය පෘථිවිරාජ් එසේ කීව ද අපේ රටේ ජනමාධ්‍ය මිත්‍යා මතයක් සමාජගත කරමින් සිටියි. බුදු දහමට මුවාවී සිදුකරන සියලු වැරදි වංචා දූෂණ සැදැහසිතින් අමතක කරන එවැනි ජනමාධ්‍ය කිසිදු විචාර බුද්ධියකින් තොරව නාග ලෝකයේ සිට රැගෙන ආ ධාතු කරඬුවක් පිළිබඳව ද ප්‍රචාරය කරන ලදී.

මේ දිනවල පෙරහැරේ අලි ඇතුන් ගැන ප්‍රචාරය කරන ඇතැම් යූ ටියුබ් නාලිකාවල බහුලව සඳහන් වන තවත් කරුණක් වන්නේ පෙරහැරේ යන අලි බෙර වයන තාලයට තම ඇග සොළවන බවයි. මේ පිළිබඳ විස්තර කරන ආචාර්ය පෘථිවිරාජ් පවසන්නේ එය අලින්ගේ දැඩි මානසික නොසන්සුන්තාවක් නිසා සිදුවන්නක් බවයි. ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.

“මා දුටුවා බොහෝ දෙනෙක් ප්‍රචාරය කරනවා පෙරහැරේ යන අලි බෙර තාලයට අනුව තම ඇඟ සොළවමින් දළදා වහන්සේට ගෞරව කරනවා කියලා. ඇත්තටම කිසිදු සත්වයකුට ආගමික හැඟීම් නැහැ. ශ්‍රද්ධාවක් තියෙන්න විදියක් නැහැ. ඔවුන් සතුන්. අලියාත් එහෙමයි. අලියෙකුට කොහොමද බුද්ධාගම ගැන දෙවියන් ගැන හෝ හිතන්න තරම් දැනුමක්. ඔවුන්ට එවැනි දේ හිතන්න බැහැ. ඒ නිසා ශ්‍රද්ධාවක් නැහැ. මෙතැන දී සිදුවන්නේ හීලෑ කරපු අලි ඉන්නේ බරපතල විදියට මානසික පීඩාවකින් ඔවුන් මේ නිසා නිතරම ඇඟ සොළවනවා. සත්තු වත්තේ ඉන්න අලි දිහා බැලූ විටත් මේ කරුණ හොඳින් දැකගන්න පුළුවන්. පෙරහැරේ බෙර පදයට ඇඟ‍ සොළවනවානම් පෙරහැර නැති කාලේ ගහක බැඳලා ඉන්න අලිත් මේ විදියටම ඇඟ සොළවන්නේ ඇයි.”

ආචාර්ය පෘථිවිරාජ් පවසන්නේ අලි තම දැවැන්ත සිරුරේ උෂ්ණත්ව නිසි පරිදි පවත්වාගෙන යන්නේ තම කන් සෙළවීමෙන් බවයි. නමුත් පෙරහැර සඳහා ‍අමුතු ඇඳුම් කට්ටලයකින් සිරුර වසා දැමීම නිසා ඔවුන් තම සිරුරේ උෂණ්තවය ඉහළ යාමේ දැඩි පීඩාවකින් සිටින බව ද හෙතෙම කීවේය. මෙයට විසඳුමක් ලෙස ඇඟ සොළවමින් තම සිරුරේ ඇති පීඩාවට පාලනය කරගැනීමට ද ඔවුන් උත්සාහ ගන්නා බව ආචාර්ය පෘථිවිරාජ් පවසයි.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ මහනුවර ඇසළ පෙරහැරේ අවසන් ‍රන්දෝලි පෙරහැර පැවැති 22 වැනි දා රාත්‍රී අලි කුලප්පුව නොදුටු මෙරට මහා මාධ්‍යය දැන් මිත්‍යා මතයක් සමාජගත කරමින් නැදුන්ගමුවේ රාජා දේවත්වයට පත්කිරීමටත් බෝධිසත්වයකු යැයි සංකල්පයක් ගොඩනගමින් මෙරට ජනතාව තවදුරටත් ආගමික උන්මාදයට සහ මිත්‍යාවට තල්ලු කරමින් සිටින බවයි.

නැදුන්ගමුවේ රාජා පාලනය වන්නේ ඇත්ගොව්වාගේ හෙණ්ඩුවෙනි. ඇතා සුදු පාවඩ නැතිව පය බිම නොතබන බව පැවසුව ද දළදා මාළිගාවෙන් එළියට එනවිට ද අලියාගේ එක් පාදක් තිබෙන්නේ පාවඩවලින් පිටත බව මේ මිත්‍යාව වපුරන අයට පෙනේනේ නැත. එමෙන්ම අලියාගේ පා ආභරණ අතරින් යෙදී යදම් ද ඔවුන්ට පෙනෙන්නේ නැත.

මේ පාදවලට යෙදූ යදම් ගැට ගසා ඇත්තේ ඇතාගේ ගෙල වටා යන ආකාරයෙනි. එසේ ගැට ගසන්නේ වේගයෙන් පාද තබා දුවන්නට සැරසුණහොත් බෙල්ලට වේදනාව දැනී නතර වනු ඇතැයි විශ්වාසයෙනි. යකඩ දම්වැලට වඩා තම සම සිදුරුකරන කුඩා හෙණ්ඩුවට මේ ඇතා භියක් දක්වයි.

නැදුන්ගමුවේ රාජ හෝ වෙනයම් ඇතකු හෝ පෙරුම්පුරා දළදා වඩම්මන්නට පැමි‍ණියේ නම් නැතිනම් මහා බුද්ධාලම්භන ප්‍රීතියකින් ඔද වැඩී ශ්‍රද්ධාසම්පන්නව මේ කාර්යය කරන්නේ නම් ඇතාගේ පාදවලට යදම් කුමට ද යන්න අපි ප්‍රශ්න කරන්නෙමු.

නැදුන්ගමුවේ රාජාගේ පාද වටා දමා කකුල් ඈතින් තැබුවහොත් ගෙල සිරවෙන යදම් සියල්ල ඉවත්කර හෙණ්ඩුවක් නැතිව දළදා වැඩමවිය හැකිනම් අපි ඇතාට ශ්‍රද්ධාව ඇති බවත්, ඇතා පෙරුම්පුරාගෙන පැමිණ බුද්ධාලම්භන ප්‍රීතියෙන් මේ කාර්යය කරන බවත් පිළිගන්නෙමු.

එතෙක් මිත්‍යාව වපුරමින් ආගමික උන්මාදයෙන් සමාජය වළපල්ලට යවන බොරුකාරයන්ට නොරැවටෙමු.

දෙරණ නාලිකාව විකාශය කළ දර්ශන මෙතැනින්

https://web.facebook.com/sinhala.adaderana.lk/videos/192019976249780

සමාජ මාධ්‍යජාලා ඔස්සේ ප්‍රචාරය කරන දර්ශන පහතින්

Related articles

Recent articles

error: Content is protected !!