25 C
Galle

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

Published:

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක් බවත් එම නිෂ්පාදනය ලබාගන්නා විශාල පිරිසක් කොරෝනා හේතුවෙන් මියයන බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකළ අධ්‍යයනයකින් හෙළි විය.

මෙම අධ්‍යයනය සිදුකරන ලද්දේ පසුගිය අගෝස්තු 01 වැනි දා සිට ඊයේ (16) දක්වා ගත වූ කාලයේ දී කරාපිටිය ශික්ෂණ රෝහලට ලැබුණු කොරෝනා මරණ ආශ්‍රිත කරගනිමිනි.

අගෝස්තු මාසයේ දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට කොරෝනා මළ සිරුරු 227ක් ලැබුණු අතර ඉන් 107ක් නිවෙස්වල දි සිදුවූ මරණ පසුව කොරෝනා බව තහවුරු කරගන්නා ලද ඒවා වෙයි. අනෙක් මළ සිරුරු 120 කොරෝනා බව තහවුරු වී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය අයගේ මළ සිරුරුය.

සැප්තැම්බර් මස 01 වැනි දා සිට ඊයේ (16) දිනය දක්වා පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලට කොරෝනා මරණ 113ක් ලැබී තිබූ අතර ඉන් මරණ 59ක් සිදුව තිබුණේ රෝහලේ වාට්ටු තුළ දී ය. අනෙක් මරණ 53 ම නිවෙස්වල මියගොස් රෝහලට මළ සිරුර ගෙන ආ පසු ආසාදිත බව තහවුරු කරගත් ඒවා වෙයි.

මෙම මළ සිරුරු අතර එම ව්‍යාජ ඖෂධය බෙදාහැරීමේ දී ප්‍රචාරක කාර්යය භාරව සිටින ගාල්ල කරාපිටිය පදිංචි පුද්ගලයකුගේ මවගේ මළ සිරුර ද තිබේ.

මෙම මව රෝගී වූ අවස්ථාවේ දී වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන එම නිවසට පවා ගොස් ඇයගේ ජීවිතය බේරාගැනීමට දැඩි උත්සාහයක නිරතවුව ද එම සියලු උත්සායන් ව්‍යර්ථ කරමින් ඇය මියගියාය. උදාර සම්පත් සහ ඔහුගේ සොහොයුරු නන්ද ගුණවර්ධනගේ නිෂ්පාදනය බොරුවක් බව එය ඉතාමත් හොඳ ප්‍රබල සාක්ෂියකි.

එම මරණය නොසළකා හැර ඉහත කාල සීමාවේ දී එනම් අගෝස්තු 01 වැනි දා සිට සැප්තැම්බර් 16 දක්වා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මරණ අතරින් අප විසින් අහඹු ලෙස තෝරාගත් මරණකරුවන්ගේ ඥාතීන් 100කට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන ලදී.

එම නියැදියේ දී අප විසින් තෝරාගන්නා ලද්දේ කොරෝනා ආසාදිත බව කලින් දැනගෙන මියගිය පුද්ගලයන් පමණි. පළමුවෙන් ම එලෙස මියගිය අයට උදාර සම්පත් ගුණවර්ධනගේ කරල ඖෂධයක් ලෙස ලබාදුන්නේ ද නැද්ද යන පැනය යොමුකරන ලදී. මෙම විමසීම් කරන ලද්දේ ඥාතීන් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂකවරයාගේ කාර්යාලයට පැමිණ මරණ පරීක්ෂණ කටයුතු වළ යෙදී සිටින අවස්ථාවේ දී ය.

අප විසින් අහඹු ලෙස තෝරාගන්නා ලද 100ක පිරිස අතරින් 59 දෙනකු  කොරෝනා හේතුවෙන් සිය ඥාතියා මරණයෙන් වළක්වා ගැනීම සඳහා කරාපිටියේ කොරෝනා කරල ලෙස ප්‍රසිද්ධ කර ඇති උදාර සම්පත්ගේ ව්‍යාජ ඖෂධය භාවිතා කර තිබිණි. ඉන් 07 දෙනකුට එම කරල ලැබී තිබුණේ වෙනත් පුද්ගලයන්ගෙන් නොමිළයේ වන අතර ඉතිරි 52දෙනාම එය තම මියගිය ඥාතියාට මුදල් ගෙවා ලබා දී තිබිණි.

අප කරන ලද සමීක්ෂෙණයේ දී එම ව්‍යාජ ඖෂධය භාවිතා නොකළ 41 දෙනාගෙන් 18 දෙනකු මෙම ඖෂධය ගැන දැන සිටියේ නැත. 13 දෙනෙක් එම ව්‍යාජ ඖෂධය දැන සිටිය ද කොරෝනා ආසාදිත ඥාතියා රෝහල්ගත කිරීම හේතුවෙන් එම කරල ලබා දීමට හැකියාවක් නොවූ බව පවසා සිටියහ. 10 දෙනකු එම නිෂ්පාදනය ගැන දැන සිටිය ද ඔවුන් එය පිළිබඳ විශ්වාස නොතැබූ බැවින් ද රෝහලේ සිටින තම ඥාතියාට එය රැගෙන දීමට උනන්දුවක් දක්වා නැත.

මෙම කරල ගැන දැන සිටි එය භාවිතා කළ 59ක් හා භාවිතා නොකළ 23 දෙනා එක කණ්ඩායමක් ලෙස සැළකූ විට  82ක් වූ එම පිරිසගෙන් එය නිෂ්පාදනය පිළිබඳ ඔවුන් දැනගත් ආකාරය ද අපි විමසා සිටියෙමු.  එහි දී ඔවුන්ගෙන් 36 දෙනකු (43.9%) කියා සිටියේ එම නිෂ්පාදනය පිළිබද අන්තර්ජාලයේ ප්‍රචාරයන්ගෙන් තමන් ඒ ගැන දැනගත් බවයි. 31 දෙනකු (37.8%) කියා සිටියේ වෙනත් අය මේ ඖෂධ්‍ය තමන් ඇතුළු පවුලේ අයට හඳුන්වා දුන් බවයි. 11 දෙනකු (13.41%) තමන් මේ ඖෂධය දැනගත්තේ කවර හෝ මාධ්‍ය ප්‍රචාරයක් මගින් වුව ද එය රූපවාහිනී නාලිකාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. නමුත් ඒ ගැන නිශ්චිත මතකයක් නැත. පුද්ගලයන් 02 දෙනකුට උදාර සම්පත් ගුණවර්ධන නම් වෛද්‍යවරයා තම මෝටර් රථය නවතා මෙම ඖෂධය ලබා දී තිබූ අතර කොරෝනා ආසාදිත වුවහොත් භාවිතා කරන ලෙස ද ඉන් මරණයෙන් වැළකිය හැකි බව ද පවසා තිබූ බැවින් තම ඥාතියාට දී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 0.3% කි. තවත් පුද්ගලයන් 02දෙනකු කියා සිටියේ ඖෂධ මිල දී ගන්නා ස්ථානයක දී කොරෝනා සුවපත් කරන බව පවසා මෙම ඖෂධය පිළිබඳ හඳුන්වාදුන් බැවින් එය මිල දී ගත් බවයි.  එය ද ප්‍රතිශතයක් ලෙස 0.3%කි.

මෙම සමීක්ෂණය අනුව පැහැදිලි වන්නේ රටේ ජනතාව මොවුන්ගේ මේ ව්‍යාජ ප්‍රචාරයට රැවටී ඇති බවයි. එලෙස රැවටී ඇති සංඛ්‍යාව අප ලබාගත් නියැදියෙන් 82%කි. එසේ වුව ද එය භාවිතා කර ඇත්තේ 59%ක් පමණි.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සහ ආචාර්ය නන්ද ගුණවර්ධන මේ ඖෂධය කොරෝනා මරණ වැළැක්වීමට හැකියාව ඇති නිෂ්පාදනයක් යැයි කීව ද කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයෙන් අප අහඹු ලෙස තෝරාගත් මළ සිරුරු 100ක ඥාතීන් අතරින් 59 දෙනකුම මේ නිෂ්පාදනය භාවිතා කළ ද මියගොස් ඇති බව සනාථ විය.

මෙම නිෂ්පාදනය තමන් කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයන් ඇතුළු 10,000කට වඩා වැඩි පිරිසකට ලබා දී ඔවුන් සුවපත් කිරීමට හැකිවූ බව ගුණවර්ධන සහෝදරයන් දෙපෙළ කියා සිටි‍ය ද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් ප්‍රනාන්දු එය තරයේ ප්‍රතික්ෂේප කරයි.

“එහෙම ඖෂධයක් නැහැ. එවැනි ඖෂධයක් හෝ වෙනත් නිෂ්පාදනයක් පිළිබඳ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන අපිට කියලත් නෑ. කරාපිටිය රෝහලේ එවැනි පර්යේෂණයක් හෝ සිදුකර නැහැ. ඒ වගේම මම පැහැදිළිවම කියනවා කරාපිටිය රෝහලට පැමිණෙන කිසිම කොරෝනා ආසාදිතයකුට මේ කියන නිෂ්පාදනය අපි ලබාදීලත් නැහැ. වෛද්‍ය උදාර සම්පත් පවා ඒ නිෂ්පාදනය කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන්ට ලබා දෙන්නේත් නැහැ. ඔහු විවිධ කතා කියනවා. මේ කතා ගැන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඒ ගැන දැනට පරීක්ෂණයක් ආරම්භ කරලා. මම දන්නා විදියට වෛද්‍ය උදාර සම්පත්ගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගත්තා. ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අමාත්‍යාංශ මට්ටමින් ගනීවි.”

රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ උදාර සම්පත් ගුණවර්ධන නිෂ්පාදනයක් ගැන කරනු ලබන ප්‍රචාරයන් කිසිමකට කරාපිටිය ශික්ෂණ රෝහලේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!