24.8 C
Galle

පොලිසියට ‘රෝස මලක් දුන් තරුණිය’ හඳුනනවා ද ?

Published:

“මාගේ නිර්මාණය නඩුවක් නම් එහි විනිශ්චය ඇත්තේ ඔබ අතෙහි ය. මම විත්තිකරු පමණක් ම වෙමි. නමුත් “ගොයම් කොළයේ” තර්කයෙන් විත්තිකරුවකුව නිදහස් කළ ආකාරයේ විනිශ්චයක් නම් මම කිසිදු දිනක බලාපොරොත්තු නොවෙමි.” යනුවෙන් ඇය ‘ඉලපත් රටා’ නමැති තම කාව්‍ය සංග්‍රහයේ පසුව‍දනේ ලියා ඇත.

සැබැවින් ම ඇය කළ පුංචි කාර්යයක් මහා විසල් පණිවිඩයක් රටට පමණක් නොව ලෝකයටම ලබා දුන් බව ඔබ අප කවුරුත් දන්නා දෙයකි. එය ජාත්‍යන්තර මාධ්‍යයේ පවා ප්‍රචාරය වූයේ සමස්ත ලෝකයේ ම අවදානය දිනා ගනිමිනි.

ඇය කසුන්සලා ගිම්හානි නමැති තරුණියයි. පසුගිය දා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ ආණ්ඩුවට එරෙහිව පැවැති උද්ඝෝෂණයක් අතරතුර උද්ඝෝෂකයන් අතරින් ඉදිරියට ඇවිද ආ තරුණියක් පොලිස් මාර්ග බාධක දෙසට ගමන් කළාය. සිහින් උසැති සිරුරකට හිමිකම් කී ඇය මොහොතකින් කාගේත් අවධානයට පත්විය.

ඇගේ අතේ රතු ‍රෝස මලකි. පොලිස් මාර්ග බාධකය දෙසට ගිය ඇය “ඔයාලගෙත් අයියලා අක්කලා නංගිලා මල්ලිලා ගෙවල්වල ඉන්නවා. ඒ අයටත් අපිට වගේ මේ ප්‍රශ්නය දැනෙනවා. මේ රෝස මල ඒ අය වෙනුවෙන් ගන්න.” යැයි කියමින් ඇය තමන් අත වූ ‍රතු රෝස මල පොලිස් නිලධාරියකුට ලබා දුන්නාය. පොලිසිය ද එ ගන්නා ආකාරය කැමරාවල සටහන්ව තිබිණි.

රටපුරා පවතින දැවැන්ත උද්ඝෝෂණ රැල්ල අතරතුර ඇය සිදුකළ මේ ක්‍රියාව ජාත්‍යන්තරයේ පවා අවාධානයට ලක්වූයේ ඉතාමත් සුළු මොහොතකිනි.

ඇය කවුරුන්දැයි රටේ බොහෝ දෙනකු දන්නේ නැත.

කසුන්සලා ගිම්හානි රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවකි. නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍ය වෘත්තියට පිවිසීම සඳහා සූදානම්ව සිටින ඇය අපූරු කලා කාරිනියකි. පැන්සලට සහ පින්සලට අත හුරු  කරගත් ඇය අතින් නිමැවුණු සිතුවම් රැසක් ඇගේ facebook ගිනුමට එකතු කර තිබේ.

එපමණක් නොව මේ වෛද්‍ය ශිෂ්‍යාව කවිකාරියකි. ඇය මේ නිසාම ගත් කතුවරියක ද වී සිටින්නීය. ඇය ‘ඉලපත් රටා’ සහ ‘අවසරයි කුහුඹුවනි’ නමින් ග්‍රන්ථ දෙකක් ද ප්‍රකාශයට පත්කර ඇත.

ඇයගේ නිදහස් අදහස් සහ කලා කාමී සිතුවිළි මෙවැනි අපූරු දෙයකට ඇය යොමුවන්නට හේතුවන්නට ඇති බව නොරහසකි.

Related articles

Recent articles

error: Content is protected !!