26 C
Galle

ගාල්ල ජාතික රෝහලේ දී තරුණයකු මරාගත්තා යැයි චෝදනා

Published:

රිය අනතුරකින් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයකු රෝහලෙන් කිසිදු ප්‍රතාකරයක් නොලැබීම හේතුවෙන් මියගියායැයි ඥාතීන්ගෙන් එල්ල වූ චෝදනාව හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකිරීමට ගාල්ල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා අද (26) පියවර ගනු ලැබීය.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, ගිංතොට පදිංචි අල්ජෝති චතුරංග සඳරුවන් නමැති 31 හැවිරිදි තරුණයෙකි. ගිංතොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පවත්වාගන ගිය ඔහු ඊයේ (25) දහවල් යතුරුපැදියෙන් මාතර දෙස සිට ගාල්ල දෙසට පැමිණෙමින් සිටිය දී හබරාදුවේ දී අනතුරට ලක්ව තිබිණි. තුවාල ලැබූ ඔහු ගාල්ල ජාතික රෝහලට ‍රැගෙන ආ අතර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ 58 වාට්ටුවට ඇතුළත් කෙරිණි.

මියගිය තරුණයාගේ සොහොයුරිය කියා සිටියේ තම සොහොයුරා අනතුරට ලක්ව ඇතැයි ලැබුණු තොරතුරකට අනුව පෙරේදා සවස 3.30ට පමණ මව සමඟ රෝහලට පැමිණෙද්දී සොහොයුරා ට්‍රොලියක හාන්සිකර තබා තිබූ බවයි.

මලීෂා සඳමිණි නමැති ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“අපි එනකොට පිටතින් තුවාල කිසිම දෙයක් පෙනෙන්නට තිබුණේ නෑ. එයා හොඳට හිටියා. ඒත් යටිබඩ ප්‍රදේශය ගොඩක් රිදෙනවා කියලා කිව්වා. ඒ ගැන වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට කිව්වත් ඔවුන් ඒක ගැන තැකීමක් කළේ නෑ. එයාලා කිව්වේ අයියාට අමාරුවක් නෑ කියලා. එක්ස්රේ එකක් අරගෙන බලනවා කියලා කිව්වා. අයියා වේදනාව ඉවසගන්න බැරිව අවස්ථා ගණනාවක් ම රෝහලේ කාර්ය මණ්ඩලයට තමන්ට අමාරුයි කියලා කිව්වත් කිසිම කෙනෙක් එයාට ප්‍රතිකාර කරලා තිබුණේ නෑ. එයාට වේදනාව ඉවසගන්නම බැරිව ට්‍රොලියෙන් බැහැලා අද (26) උදේ රෝහලට ආපු ඇම්බියුලන්ස් එකක් ගාවට ගිහින් කියලා තිබෙනවා මේ අය මට බෙහෙත් දෙන්නේ නෑ. මාව පුද්ගලික රෝහලකට ගෙනියන්න කියලා. ඒ වෙලාවේ රෝහලේ සේවකයන් එයාව නැවත ගිලන්රථයෙන් අරගෙන පුටුවක වාඩිකරවලා. ටික වෙලාවකින් මගේ අයියා ලේ වමනය කරලා එතනම මිය ගිහින්. මේ මරණය සිදුවුණේ රෝහලේ දී නිසි ප්‍රතිකාරයක් නොලැබීම නිසා.”

මියගිය තැනැත්තාගේ මව ඩබ්ලිව්.ගුණවතී මහත්මිය පවසන්නේ තම පුතා අසළ තවත් තරුණයකු රාත්‍රියේ රැඳී සිටිය බවයි. ඔහු කිහිප අවස්ථාවක දී ම මෙම රෝගියාට අසාධ්‍ය බව කීව ද රෝහල් කාර්ය මණ්ඩලය එය නොතකා කටයුතු කර ඇතැයි ඇය පවසයි.

ඇය වැඩිදුර මෙසේ ද කීවේය.

“මට මේ මියගිය පුතා සහ දුව විතරයි හිටියේ. පුතා විවාහ වෙලා දරුවෙක් ලැබිලා තවම දින 18යි. මේක තනිකරම රෝහලේ වැරැද්ද පුතාගේ ස්කෑන් එකක් අරගෙන තියෙනවා. ඒ වෙලාවෙත් පුතා කියලා සිරුරේ යටිබඩ ප්‍රදේශය ස්කෑන් කරන්න කියලා. නමුත් එහෙම කරලා නෑ. උඩ කොටස විතරක් ස්කෑන් කරලා ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ වාට්ටුවට ගෙනාවම එයා ගාව හිටපු දරුවා මෙයාගේ ඇඳුම් මාරු කරද්දී දැකලා තියෙනවා මුත්‍ර මාර්ගය ආසන්නයේ ලේ ගලන තුවාලයක් තියෙනවා. ඒ බව හෙදියන්ට කිව්වම ගෝස් කෑල්ලක් තියලා වහලා. ඒ වෙලාවේවත් කිසිම බෙහෙතක් දීලා නෑ. මුත්‍රා සමඟ ලේ ගිහින්. ඉවසගන්න බැරි වේදනාවක් තිබිලා. ඒත් කවුරුවත් බලලා නෑ. උදේ පාන්දර ලේ වමනය දාලා මියගිහින්. මගේ පුතා මැරුණේ රෝහලේ දී ඔහු ගැන නොසළකා සිටීම නිසා.”

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකිරීමෙන් පසු ඒ පිළිබඳ අවශ්‍ය කරුණු සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා එම පරීක්ෂණ කටයුතු මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබිණි.

ඒ අනුව ඊයේ (25) සවස මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.  

Related articles

Recent articles

error: Content is protected !!