24.5 C
Galle

විෂ එන්නත් බෙදන්න යැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා

Published:

සජීව විජේවීර

බැක්ටීරියා විෂ සහ ඇසට පෙනෙන කැබිලිති එන්නත් කුප්පිවල අඩංගු බව කියමින් භාවිතයෙන් ඉවත්කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් තොගයක් නැවත භාවිතා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ‘ස්වස්ථා’ පද්ධතිය මගින් සියලුම රජයේ රෝහල්වෙත දැනුම් දී තිබේ.

ප්‍රමිතියෙන් තොර  හියුමන් ඉමි‍යුනෝග්ලොබියුලින් සැපයීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා ලැබීමෙන් කළකට පසු මෙම ඖෂධ තොගය ගෙන්වා ඇත්තේ ඉන්දියාවේ හෙලන්ගානා ප්‍රදේශයේ කර්මාන්තශාලාවකිනි. එක් ඖෂධ කුප්පියක වටිනාකම රුපියල් 50,000.00ක් පමණ වන අතර එක ඖෂධ කුප්පියක් එක් රෝගියකු සඳහා භාවිතා කරන්නේ එක් වරක් පමණි. ඇතැම් රෝගීන්ට ඖෂධ කුප්පි 20-30ක් පමණ භාවිතා කිරීමට සිදුවන අවස්ථා ද ඇත.

විවිධ ආසාදනවලට, මාරාන්තික ස්නායුරෝගවලට සහ ප්‍රතිශක්තීකරණ ඌණතා ඇති අවස්ථාවල දී ප්‍රතිදේහ ප්‍රතිස්ථාපනය සඳහා ලබාදෙන ඖෂධයක් වන හියුමන් ඉමි‍යුනෝග්ලොබියුලින් එම ඖෂධ තොගය ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිතයට ගැනීමෙන් පසු රෝගීන්ට විවිධ ආසාත්මිකතා සහ සංකූලතා ඇතිවීම හේතුවෙන් 2024-09-10 වැනි දින වෛද්‍ය සැපයුම් අංශයේ චක්‍රලේඛයක් මගින් එය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබිණි.

ඉන්පසු විවිධ රෝහල්වලින් එම ඖෂ‍ධයේ සාම්පල වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ අවදානම් තක්සේරු අනු කමිටුව විසින් ජාතික ඖෂධ තත්ව පරීක්ෂණාගාරයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ මෙම ඖෂධ කුප්පිවල බැක්ටීරියා විෂ සහ ඇසට පෙනෙන කැබිලිති තිබෙන බවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය ඖෂධ නීති සංග්‍රහයේ නිර්ණායක අනුව එය භාවිතයට නුසුදුසු ලෙස තීරණය කර තිබිණි.

ඒ හේතුවෙන්, එම ඖෂධය ස්ථිර වශයෙන් ම භාවිතයෙන් ඉවත්කරන්න යැයි වෛද්‍ය සැපයුම් අංශය විසින් 2024-10-23 වැනි දින චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබිණි. මෙම උපදෙස් අනුව හියුමන් ඉමි‍යුනෝග්ලොබියුලින් ඖෂධයේ ඉන්දියාවේ හෙලන්ගානා කර්මාන්තශාලාවකින් ගෙන්වූ තොගය භාවිත‍යෙන් ස්ථිරව ම ඉවත්කළ නමුත් ඖෂධ අපහරණ මණ්ඩලයෙන් පැමිණ ඒවා නිසි පරිදි ලේඛනගත කර රැගෙන යනතුරු ඒ ඒ රෝහල්වල ගෙනවිත් තිබූ තොග සුරක්ෂිතව තිබිණි.

මේ අතර දැනට දින කිහිපයකට පෙර වෛද්‍ය සැපයුම් අංශයේ ‘ස්වස්ථා’ දත්ත පද්ධතිය මගින් දැනුම් දී ඇත්තේ භාවිතයෙන් ඉවත්කර තිබූ ඖෂධ තොගය නැවත භාවිතයට ගන්නා ලෙසයි. නමුත් ඒවා භාවිතයට ගැනීම සඳහා තීරණය කර ඇත්තේ කවර පදනමකින්ද යන්න දක්වා නැත.

මේ පිළිබඳ අප සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් විමසූ විට ඔහු මේ පිළිබඳ සොයා බලා පිළිතුරක් දෙන බව කීවේය.

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා ම නැවත අප අමතමින් කියා සිටියේ තමන් මේ පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසූ විට අප සඳහන් කර ඇත්තේ තහනම් කළ ඖෂධ කාණ්ඩය නොවන බවත් පසුව ගෙන්වන ලද ඖෂධයක් ද ආසාත්මිකතා ඇතිවීම හේතුවෙන් තාවකාලිකව ඉවත්කර තිබී නැවත භාවිතයට  අනුමත කර ඇති බැවින් එය භාවිතා කිරීමට උපදෙස් දුන් බවයි.

එයින් පෙනී යන්නේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාව නොමග යැවීමට උත්සාහ ගෙන ඇති බවයි. 2024-10-23 වැනි දින MSD/QP/2024/41 දරණ චක්‍රලේඛය මගින් ඖෂධය භාවිතයෙන් වළකින ලෙස දැනුම් දී තිබිණි. දැනට දින කිහිපයකට පෙර වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදුකර ඇත්තේ එම චක්‍රලේඛයේ සඳහන් ඖෂධය භාවිතයට ගන්නා ලෙස දැනුම් දීමයි. එයට අදාළ ලේඛන දෙකම අපි නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් විට හෙතෙම නැවත සොයා බලා අප අමතන බව කීවේය.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන් මොහොතකට පසු අප අමතමින් නැවත කීවේ.

“ඔව් ඔබ කියන දේ හරි 2024-10-23 වැනි දා චක්‍රලේඛයක් මගින් ස්ථිරව ම භාවිතය අත්හිටවූ ඖෂධ කාණ්ඩයම තමයි නැවත භාවිතා කරන්න කියලා පසුගිය දා දැන්වීමක් යොමුකරලා තියෙන්නේ. නිලධාරීන්ගෙන් මේ ගැන විමසුව ඔවුන් කියනවා මේ ඖෂධය භාවිතය නැවැත්තුවා ම ඒ ඖෂධ සැපයූ සමාගමට 25%ක අධිභාරයක් ද සහිතව සම්පූර්ණ මුදල ගෙවන්න යැයි දැනුම් දී වසර 05කට අසාදු ලේඛන ගත කරනවා කියලා. ඒ සමාගමට මේ කරුණ දැනුම් දුන්නාම ඔවුන් අපේ වෛද්‍ය සැපයුම් අංශයට කියා තිබෙනවා අපේ රසායානාගාරයේ ඖෂධය පරීක්ෂා කර බලලා ති‍බෙන ක්‍රමය වැරදි අපි බලලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ඖෂධ නීති සංග්‍රහය අනුව. මේ ඖෂධය නිෂ්පාදනය කර තිබෙන්නේ ඊට වඩා වෙනස් ක්‍රමයකට කියලා. ඒ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් ඉන්දීය ඖෂධ නීති සංග්‍රහය අනුව ඖෂධ පරීක්ෂා කරන රසායනාගාරයකට එය යවා පරීක්ෂා කරලා එහි බැක්ටීරියා විෂ අඩංගු නෑ කියලා වාර්තාවක් එවලා තිබෙනවා. අපේ ඖෂධ සැපයුම් අංශය කරලා තියෙන්නේ මේ වාර්තාව එවූ ආයතනය සම්බන්ධ කරගෙන මෙය සත්‍ය වාර්තාවක් ද කියා සොයා බලලා ඒක සත්‍ය්‍යක් බව දැනගෙන තමයි ඖෂධය නැවත භාවිතා කරන්න කියා තිබෙන්නේ.”

අමාත්‍යවරයාගේ පිළිතුර එවැන්නකි. එමනේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ දී ඖෂධ මාත්‍රා 30,000කින් එකක් ආසාත්මක වුව ද ඒ පිළිබඳ පවා සොයා බලන බවයි. එබැවින් මෙම රජය යටතේ කිසිදු බාල ඖෂධයක් භාවිතා කිරීමට ඉඩ නොතබන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

නමුත්, 2024 සැප්තැම්බර් මාසයේ දී මෙම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත්කර එය ඔක්තෝබර් 23 වැනි දා ස්ථිරව ම භාවිතයෙන් ඉවත්කර ඇත්තේ එක් අයකුට හෝ දෙදෙනකුට හෝ සිදු වූ ආසාත්මිකතා හේතුවෙන් නොවේ. ශ්‍රී ලංකාව පුරාම රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම ‍ඖෂධය නිසා ආසාත්මිකතා සහ සංකූලතා ඇතිවන බවට නැගුණු චෝදනා රැසක් පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවය.

එමෙන් ම ඖෂධය භාවිතයෙන් ඉවත්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම පත්කරන ලද ඖෂධ අවදානම් තක්සේරු කමිටුව විසින් විධිමත් රසායනාගාර පරීක්ෂණයකින් අනතුරුවය. එලෙස ඉවත්කරන ලද ඖෂධයක් නැවත භාවිතා කිරීමේ දී එවැනි අවදානම් කමිටුවකින් අනුමත විය යුතු නොවේ ද ? එමෙන් ම එදා සිටි ඖෂධ අවදානම් තක්සේරු කමිටුව විද්‍යාව සහ පරීක්ෂණ පිළිබඳ නොදන්නා අඳ බාලයන් ලෙස වර්තමාන නිලධාරීන් විසින් සළකන්නේ ද ?

මෙහි තවත් ගැටලුවක් තිබේ 2024-10-23 වැනි දින නිකුත්කරන ලද චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කරන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නමැති ඖෂධ‍ කුප්පිවල බැක්ටීරියා විෂ පැහැදිලිව හඳුනාගත් බවයි. වෙනත් පරීක්ෂණයකින් එය නැතැයි කියා තහවරු කර ඇත්නම් මීට පෙර ද භාවිතයෙන් ඉවත්කරන ලද ඖෂධ ගැන නැවත සළකා බැලිය යුතුය. එපමණක් නොව දැනටත් එම ඖෂධ කුප්පිවල දක්නට ඇති හඳුනානොගත් කැබිලිති කිසිදු එන්නතක නොතිබිය යුතු බව බ්‍රිතාන්‍යයේ මෙන්ම ඉන්දියාවේ ඖෂධ ප්‍රතිපත්තිය අනුව ද පැහදිළි කරුණකි.

නමුත් මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් කුප්පිවල ඇසට පෙනෙන කැබිලිති තිබිය දී ඒවා නැවත භාවිතා කරන්න යැයි කීම විහිළුවට කරුණක් නොවේ ද ?

මේ පිළිබඳ අපි වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ දොස්තරලා ඖෂධ සමාගම් සමඟ එක්ව යම් යම් සමාගම්වලට පහර ගැසීම සඳහා ඖෂධ ප්‍රතික්ෂේප කරන බවයි.

නමුත් එහි තවත් පැත්තක් ඇත. එදා ඖෂධ ගෙන්වීමේ දී මිලියන ගණන් සන්තෝෂම් ලැබූ නිලධාරීන් ඒ බාල ඖෂධයම අපේ රටේ රෝගීන්ට ලබා දී තමන්ගේ ගතමනාව බේරාගැනීමේ උත්සාහයක යෙදෙන ‍බවට අපටත් තර්ක කළ හැකිය.

මේ පිළිබඳ තවදුරටත් විමසූ විට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා කියා සිටියේ එම ඖෂධය පිළිබඳ තමන් පුද්ගලිකව සොයා බලන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!