29.4 C
Galle

ශ්‍රී ලංකාවේ ජනගහනය, රෝහල්වල දී වාර්තා පිට වාර්තා තියලා

Published:

ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් හය ගුණයක පිරිසක් වාර්ෂිකව රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව කියා සිටියෙ රත්නපුරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මහල් හතරකින් යුතු එම ගොඩනැගිල්ලේ මහල් දෙකක ඉදිකිරීම් අවසන්කර තිබේ. එලෙස වැඩ අවසන් කළ කොටසේ මාතෘ සෞඛ්‍ය සේවාවන් සිදුකිරීමට නියමිතය.

මෙතරම් විශාල පිරිසක් රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා තත්වයට පත්ව ඇත්තේ පවතින ක්‍රමයේ දුර්වලතාවක් නිසා බව සඳහන් කළ අමාත්‍යවරයා එවැනි දුර්වලතා මඟහැරීම සඳහා “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” සංකල්පය හඳුන්වාදුන් බව ද කීවේය.

අමාත්‍යවරයා එසේ කීව ද රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාත්මක දත්තවල ඇත්තේ වෙන් වෙන් වශයෙන් පුද්ගලයන් නොව විවිධ අංශවල දී ප්‍රතිකාර ලබාගන්නා වාර ගණන් පිළිබඳ දත්තයි. රෝගියකු බාහිර රෝගී අංශයට පැමිණ සායනයක ලියාපදිංචි වූ පසු සතියකට වතාවක්, මාසයකට වතාවක් හෝ මාස දෙකකට වතාවක් එම සායනයට පැමිණේ. එමෙන් ම එක් රෝගියකු බාහිර රෝගී අංශයට පැමිණි විට එකම රෝගය සඳහා විවිධ අංශවෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීම ද සිදුකරයි. ඇතැම් රෝහල්වල එකම සායනයක රුධිර වාර්තා ලබාගැනීමට එක් අවස්ථාවක දී වුව ද එම රෝහලේ ම රසායනාගාර තුනකට පමණ රෝගියාට යාමට සිදුවන අවස්ථා අප නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව එක් වර්ෂයක දී රටේ ජනගහනය මෙන් හය ගුණයක රෝගීන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නවා යනු රෝගීන් සංඛ්‍යාව නොව එම රෝගීන් රෝහලෙන් සේවා ලබාගන්නා වාර ගණනයි.

Related articles

Recent articles

error: Content is protected !!