25 C
Galle

රනිල්, පොදු දේපළ අවභාවිතා කළා ද ?

Published:

ශ්‍රී ලංකා ඉතිහාසයේ හිටපු විධායක ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ලෙස අද (22) රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වාර්තා වෙයි.

ජනාධිපතිවරයකුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අත්අඩංගුවට පත්ව නොසිටීමේ සහ නඩු පැවරීමේ විනර්මුක්තියක් හිමිව තිබූ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ව සිටි කාලයේ දී සිදුකරන ලද ව්‍යවස්ථා සංශෝධනයකින් එම විනර්මුක්තිය ඉවත් කරන ලදී. ඒ අනුව ඔහු විසින් ගෙන එන ලද සංශෝධනය මේ වනවිට ඔහුට ම පාරා වළල්ලක් වී ඇත.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා 2023 සැප්තැම්බර් 22 සහ 23 එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත ගොස් එම සංචාරය නිමවා ආපසු එමින් සිටිය දී එංගලන්තයේ ලන්ඩන් නගරයට ගොස් තිබිණි. මෙලෙස ඔහු ලන්ඩන් ගියේ ඔහුගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසංහට ගෞරව ආචාර්ය උපාධියක් ලැබීමේ අවස්ථාවට සහභාගී වීමට බවත් එය පුද්ගලික සංචාරයක් බැවින් එයට රජයේ මුදල් වැය කර තිබීම පොදු දේපළ අවභාවිතයක් බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

මේ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වන්නේ බ්‍රිතාන්‍යයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය ජෝන් රැෆ්ට් විසින් මෙම ආරාධනය කර ඇත්තේ ලන්ඩන් නගරයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම සංචාරයේ දී රජයේ මුදල් අවභාවිතාා කරමින් හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගී වී ඇති බවට පසුගිය දා පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් සිදුකළ බවයි.

එම පැමිණිල්ලට අනුව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් හා හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණි.

ඉන්පසු හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (22) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර අද උදෑසන 9.00ට පමණ හෙතෙම එහි ගියේ ය. එහි දී ඔහුගෙන් ප්‍රකාශයක් සටයහන් කරගැනීමෙන් අනතුරුව දහවල් 1.15ට පමණ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැණිනි.

පසුව ඔහුව අද සවස 3.00ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එම අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීයරු ඇතුළු ඔහුගේ ආධාරකරුවෝ විශාල පිරිසක් ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරුණ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍ය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේ කැඳවනු ලැබීය.

සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දැක්වූයේ ය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, 2025.03.17 වන දින වී.එස් කරුණාරත්න නම් පුද්ගලයෙකු ජනාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර ඉන් අනතුරුව 2025.05.23 වන දින මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.

අදාළ සිදුවීම නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරය දරන කාලය තුළදී 2023.09.13වන දින සිට 20වන දින දක්වා කියුබාවේ හා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී ඉන් අනතුරුව 2023.09.22 හා 23 යන දිනවලදී නිල සංචාරයක් යැයි කියාපාමින් පෞද්ගලික සංචාරයක නිරතවීම තුළ රජයේ මුදල් අවභාවිතයක් සිදුවී ඇති බවයි.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 33න් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙරට 8වන විධායක ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ සැකකරුවකු ලෙස නම්කරමින් අත්අඩංගුවට ගත් බව දිලීප පීරිස් සඳහන් කළේය.

ඔහු අනතුරුව මූලික සිදුවීම සම්බන්ධයෙන් මූලික කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවේය.

ස්වාමීනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස 2023.09.13 සිට 20 දක්වා කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරයක යෙදී තිබෙනවා. ඉන් අනතුරුව 22වන  දින එංගලන්තයේ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගීවී තිබෙනවා. ඒ වික්‍රමසිංහ මැතිණියට ගෞරව උපාධියක් ලැබීමේ අවස්ථාවකටයි. මෙම ප්‍රශ්නගත සංචාරය සඳහා ජනාධිපති කාර්යාලයේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු 10 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගීවී තිබෙනවා. එහිදී දින දෙකක කාලයක් තුළ වියදම් කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 166ක්. එහිදී එම මුදල ගෙවීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 133ක් සහ පොලිසිය සහා නාවික හමුදාව එක්ව රුපියල් ලක්ෂ 32කට වැඩි මුදලක් වශයෙන්. මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකළ යුතුයි 2023 අගෝස්තු 16 වනදා තමයි මෙම සංචාරයට අදාළ පළමු ලේඛනය අපට හමුවන්නේ. එහි සඳහන්වන්නේ මෙය පෞද්ගලික සංචාරයක් කියලා. නමුත් සැප්තැම්බර් වන මස 07 වැනිදා වෙද්දි එකී පෞද්ගලික සංචාරය කියන එක නිකම්ම නිකන් විසිට් එකක් බවට පත්වෙනවා. මේ සංචාරය ගිහින් ආවට පස්සේ මෙම ලේඛනවල සඳහන්වෙන්නේ එය නිල සංචාරයක් කියලා. කවුද මේවා සංශෝධනය කළේ කියන එක බරපතළ ප්‍රශ්නයක්. අපි මෙම සැකකරුගේ එවකට පෞද්ගලික ලේකම්වරියව සිටි සැන්ඩ්‍රා පෙරේරාගෙන් ප්‍රශ්න කරපුවම ඇය කිව්වා, පළමුව තමන් සිතාගෙන සිටියේත් මෙය පුද්ගලික සංචාරයක් කියලා නමුත් පසුව ජනාධිපතිවරයා ලෙස සැකකරු කිව්වා එය පෞද්ගලික සංචාරයක් නොවේ කියලා. මේ සම්බන්ධයෙන් එවක ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු කිව්වේ ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් දුර ගමන් යද්දි, ඩුබායි, දෝහා වගේ රටවල්වලට යද්දි එක් දිනයක් විවේකීව ගතකරනවා, එම විවේකී දිනය ලෙස ලන්ඩනය තෝරාගෙන ඇති බව සිතා තමන් මුදල් අනුමත කළා කියලා. මෙම ප්‍රශ්නගත සංචාරයට සැකකරුට ආරාධනා ලැබී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින්, මෙය නිල සංචාරයක් බවට පත්වන්න නම් අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය රජයෙන් මේ සදහා ආරාධනාව ලැබිය යුතුයි. ප්‍රශ්නගත සංචාරය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කළාම ඔහු කියනවා නිල සහ පෞද්ගලික කියලා දෙවර්ගයක් නැහැ ඕනෑම සංචාරයකට රාජ්‍ය මුදල් භාවිත කරන්න පුළුවන් කියලා.”

අනතුරුව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙම සංචාරයේදී වියදම් සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදු කළේය.

ස්වාමිනි මේ කියන වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය තිබෙන්නේ ලන්ඩනයේ සිට කිලෝමීටර් 206ක වගේ දුරකින් එහෙම තිබෙද්දිත් ස්වාමිනී ඔහු නැවතී ඉඳලා තිබෙන්නේ ලන්ඩනයේ තිබෙන ලෑන්ඩ් මාර්ක් කියන සුඛෝපභෝගී හෝටලයේ ස්විට් එකක එතන ඉඳලා ස්වාමිනී ඔය කියන විශ්වවිද්‍යාලයට යන්නයි එන්නයි කිලෝමීටර් 400ක් පමණ තිබෙනවා. පස්සේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය අසලත් විනාඩි 5ක වගේ දුරකින් කාමර දෙකක් වෙන් කරලා තිබෙනවා. මෙහි දී සිදුකර තිබෙන වියදම් දෙස අවධානය යොමු කළොත් වාහන කුලීවලට ලක්ෂ 45ක්, ආහාරපාන සඳහා ලක්ෂ 03ක් නවාතැන් සඳහා ලක්ෂ 34ක්, අමුතන්ගේ පරිහරණය සඳහා ලක්ෂ 27ක් වගේ වියදම් සිදුකරලා තිබෙනවා. ස්වාමිනී මේ වියදම් සිදුකරලා තිබෙන්නේ මෙරට තුළ ඩොලර් හිඟයක් තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ රට බංකොලොත්වීම සම්බන්ධයෙන් නඩු යන්නාවූ කාලය තුළයි. හරියටම කියනවනම් මේ කාලයේ මට බංග්ලාදේශයේ රාජකාරී ගමනක් යන්න සිදුවෙලා ඩොලර් 75ක් සොයාගන්නත් බොහෝ වෙහෙසුණා. මේ සංචාරයට ජනාධිපතිවරයා සමග එක් වූ පොලිස් නිලධාරියෙකුගෙන් සිදුකරපු ප්‍රශ්න කිරීමකදී ඔහු කියනවා ජනාධිපතිවරයා ලෑන්ඩ්මාර්ක් හෝටලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට යනවා හැරෙන්නට වෙනත් කිසිඳු අවස්ථාවක එලියට ආවේ නැහැ කියලා. ඒ කියන්නේ ඉතාමත් පැහැදිලියි මේ කාලවකවානුව තුළ ජනාධිපතිවරයා කිසිඳු ආකාරයක රාජ්‍ය නායකයෙකු හමුවකටවත් සම්බන්ධවුණේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්. මේක ස්වාමීනි හරියට දරිද්‍රතාවයෙන් පෙළුණු පවුලක් ජීවත්වෙන්න කැටයකට මුදල් එකතු කරලා අනිත් සාමාජිකයන්ට නොදී කැටේ මුදල් අරගෙන තානායම ගිහින් කෑවා බිව්වා වගේ වැඩක්.”

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකර ඇති බැවින් ඇප ලබාදීමට ප්‍රබල ලෙස විරුද්ධවන බව සඳහන් කළේය.

ස්වාමිනි මේ නඩුවේ විමර්ශන තවදුරටත් අවසන් නැහැ. තව සැකකරුවන්  අත්අඩංගුවට ගන්න තිබෙනවා. විශේෂිතම කෙනෙක් තමයි ජනාධිපති ලේකම් ලෙස හිටපු සමන් ඒකනායක. මේ හිටපු ජනාධිපතිවරයාට නඩු පවරා තිබෙන්නේ පොදු දේපළ පනත යටතේයි. ඒ කියන්නේ ඇප ලබාගන්න සුවිශේෂී කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන්න ඕනේ. යුක්තියේ දෙවඟනගේ දෑස් වසා සිටිනවා වගේම කිසිඳු සැකකරුවකුගේ තරා තිරම බලන්නේ නැතුව නඩුවට ඉදිරිපත්වී ඇති සාක්ෂි හා කරුණු මත පමණක් පදනම්ව ඔබතුමියගේ තීරණ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ”

අනතුරුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වුවේය.

ජනාධිපති ලේකම් කාර්යාලය කරපු අභ්‍යන්තර විගණන වාර්තාවකින් මේ බව තහවුරු කරගත්තා කියලා පැමිණිල්ල කියනවා. නමුත් ස්වාමිනි ඔය සිදුවීමට අදාළව ජාතික විගණකාධිපති ඉදිරිපත් කරපු වාර්තාවක් මම ඔබේ අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවෙන් මේ කිසිවක් සනාථ වන්නේ නැහැ. අද මේ නඩුව දාන්න පුළුවන් වෙලා තියෙන්නෙත් සැකකරු ජනාධිපති වෙලා ඉද්දී ජනපති විනිර්මුක්තිය අහෝසි කරපු නිසා. නමුත් නඩු දාන්න වුණත් හේතුවක් තියෙන්න ඕනේ. මේක ද්වේශ සහගත ලෙස දාපු පදනම් විරහිත නඩුවක්. ස්වාමිනි එක එක කාලෙක  එක එක්කෙනාට කඩේ යන යූ ටියුබර් කෙනෙක් කියලා තිබ්බා දවස් දෙකක් ඇතුළත රනිල් මහත්තයාව රිමාන්ඩ් කරනවා කියලා. කොහොමද එහෙම කියන්නේ?”

තවදුරටත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වූවේය.

ස්වාමීන් මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඒ වගේම ඔහුට පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තියෙනවා. ඔහුට අධිරුධිර පීඩනයත් තියෙනවා. ඊට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබනවා. මේ අවස්ථාව සුවිශේෂි නිසා ස්වාමීන් මෙතෙක් ශ්‍රී ලංකාවේ කවුරුත් දැනගෙන හිටිය නැති සුවිශේෂි කරුණක් මම අධිකරණයට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක තමයි මොහුගේ භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටීස් රෝගයකින් පෙළෙනවා කියන දේ. රටම දන්නා කරුණක් තමයි මොවුන්ට දරුවන් නැහැ. ඒ නිසා ඇයව ධෛර්යමත් කරන්න ඉන්නේ මොහු විතරයි. ඔවුන්ට ඉන්නේ ඔවුන් විතරයි. එයත් සුවිශේෂි කරුණක් ලෙස සලකන්න. ඒ වගේම බන්ධනාගාරය කියන්නේ හිටපු ජනාධිපති කෙනෙක්ට විශේෂ ආරක්ෂාව තියෙන තැනක් නෙවෙයි. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි මොහුට අනිද්දා දිනයේ ඉන්දියාවේ පැවැත්වෙන කොමන් වෙල්ත් යූත් කවුන්සිල් එකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්න තියෙනවා. මේ සියලු කරුණු සලකා බලා පොදු දේපළ පනත යටතේ වන සුවිශේෂි කරුණු සේ සලකා බලා මොහුව ඇප මත මුදා හරින්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර පැමිණිල්ලේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතාගෙන් විමසා සිටියේ විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ වාර්තාව සම්බන්ධයෙන් කුමන අදහසක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් සඳහන් කළේ එම විගණන වාර්තාව පොදුවේ වර්ෂයකට අදාළව සිදු කරන ලද විගණන වාර්තාවක් වන අතර නිශ්චිත කරුණට අදාළව සිදු කරන ලද විගණන වාර්තාවක් නොවන බවය.

තමන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තරයේ සිදු කරන ලද විගණන වාර්තාවක් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!