27.4 C
Galle

පූර්ණ චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී

Published:

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අද (07) රාත්‍රී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල්වලට මෙන් ම යුරෝපයේ සහ අප්‍රිකාවේ රටවල් කිහිපයකට සහ ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයටත් මෙම චන්ද්‍රග්‍රහණය දැකගත හැකියි.

තාරකා විද්‍යාඥයන් පවසන්නේ නැවත මෙවැනි චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන්නේ 2028 දෙසැම්බර් 31 වැනි දා බවයි.  නමුත් එය අද ඇතිවන පූර්ණ චන්ද්‍රග්‍රහණය තරම් දීර්ඝ වේලාවක් පවතින්නක් නොවේ. අද ඇතිවන පූර්ණ චන්ද්‍රග්‍රහණය විනාඩි 81ක කාලයක් පවතින අතර එවැනි චන්ද්‍රග්‍රහණයක් යළි ඇතිවන්නේ 2040 නොවැම්බර් 18 වැනි දා ය.

පෘථිවියේ ඡායාව චන්ද්‍රයා මත පතිතවීමෙන් චන්ද්‍රග්‍රහණය සිදුවීම ආරම්භ වන්නේ අද රාත්‍රී 8.58 පමණ වන අතර ක්‍රමයෙන් සඳෙහි දීප්තිය අඩු වී රාත්‍රී 9.57ත් 11.01ත් අතර දී අර්ධ චන්ද්‍රග්‍රහණය දැකගත හැකිවනු ඇත. පසුව පෘථිවි ඡායාවෙන් චන්ද්‍රයා සම්පූර්ණයෙන් ම වැසී යාම සිදුවන අතර එහි උපරිම අවස්ථාව රාත්‍රී 11.42ට දැකගත හැකිවනු ඇත. ඒ අවස්ථාවේ දී චන්ද්‍රයා තද රතු පැහැයෙන් දිස්වේ. එම පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව හෙට (08) අලුයම 12.22 දක්වා පවතින අතර ක්‍රමයෙන් නැවත අර්ධ චන්ද්‍රග්‍රහණයක් බවට පත්ව අළුයම 2.25ට පමණ පෘථිවියේ උප ඡායාවත් චන්ද්‍රයා මතින් ඉවත්වීම සිදුවෙයි.

පෘථිවි වායුගෝලයේ පවතින දූෂ්‍යකාරක සහ දුහුවිලි අංශු හේතුවෙන් චන්ද්‍රග්‍රහණය පවතින අවස්ථාවේ දී සඳ රතු පැහැයෙන් දිස්වේ. එලෙස රතු පැහැ ගන්නා සඳ blood moon හෙවත් ‘රුහිරු සඳ’ ලෙස ද හඳුන්වයි.

Related articles

Recent articles

error: Content is protected !!