27.9 C
Galle

රජයට එරෙහිව, අනුරාධපුර අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

Published:

මහව සිට වවුනියාව දක්වා සියලු දුම්රිය ස්ථානවල ආබාධිත පුරවැසියන් සඳහා ප්‍රවේශ මාර්ග ඉදිකරමින් නවීකරණය කළ යුතු බවටත්, පෙත්සම්කාර පාර්ශවයට රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවිය යුතු බවටත් වූ තීන්දුවක් අද (18) අනුරාධපුර මහාධිකරණය විසින් නියෝග කරන ලදී.

ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි එන්.ජී.කමලාවතී විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි. එහි වගඋත්තරකරුවන් වූයේ ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ය.

වවුනියාව සිට මහව දක්වා ඇති දුම්රිය ස්ථානවල සිදුකරනු ලැබූ ප්‍රතිසංස්කරණ මගින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය ප්‍රවේශ නියෝග නිසි ලෙස අනුගමනය කර නැතැයි පෙත්සම්කාරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නාය.

2006 අංක 01 දරණ ප්‍රවේශ නියෝග අනුව මහව සිට වවුනියාව දක්වා දුම්රිය ස්ථාන නවීකරණය කර නොමැති බැවින්,1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පනතේ 23.1 හා 23.2 යටතේ තහවරු කරන ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇතැයි අධිකරණයේ තීන්දුව විය.

දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන වාර්ෂික ප්‍රතිපාදනවලින් මෙම නවීකරණ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දී ප්‍රතිපාදන සැපයිය යුතුයැයි ද එම නඩු තින්දුව හරහා නියෝග කර තිබේ.

එමෙන්ම 1,2,3,4 වගඋත්තරකරුවන් සමඟ සාකච්ඡා කර මෙම නවීකරණ කටයුතු සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!