27.9 C
Galle

මන්නාරමේ සැබෑ තත්වය කුමක් ද ?

Published:

වත්මන් රජය බලයට පත්වීමේ දී ලබාදුන් පොරොන්දු අමතක කරමින් මන්නාරම නගරයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහිව ජනතාව ඊයේ (26) රාත්‍රී දැඩි විරෝධයක් පළකිරීමත් සමඟ උණුසුම්කාරී තත්වයක් පැණ නැගී තිබිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පුද්ගලිකව මැදිහත් වී මෙම බලාගාර ඉදිකිරීමට ඉඩ නොදෙන බවට ජනතාවට පොරොන්දු වී තිබුණ ද ඊයේ (26) රාත්‍රියේ එම බලාගාර සඳහා අවශ්‍ය උපකරණ පොලිස් ආරක්ෂාව යටතේ ගෙන ඒමත් සමඟ ජනතාව ඊට එරෙහි වූහ.

අවසානයේ පොලිස් කැරැළි මර්ධන කණ්ඩායම් උපයෝගී කරගනිමින් මන්නාරම නගරය වෙත සුළං විදුලි බලාගාරරයයට අවශ්‍ය ටර්බයින් සහ අනෙකුත් උපකරණ රැගෙනත් වාහන රැගෙන විත් තිබිණි. එම අවස්ථාවේ දී සිදු වූ ගැටුම්වලින් තිදෙනකු තුවාල ලබා තිබූ බව ද අප වාර්තා කරුවෝ කියති. ජනතාව චෝදනා කරන්නේ ඔවුන් තුවාල ලැබුවේ පොලිසිය කරන ලද පහරදීම්වලින් බවයි.

පොලිසිය පවසන්නේ ටර්බයින් ඇතුළු උපකරණ රැගෙන ඒමේ දී ජනතාව විරෝධය පළකළ බැවින් තත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වූ බවයි. නමුත් කිසිම අවස්ථාවක සිවිල් වැසියන්ට පහර නොදුන් බව ද මන්නාරම පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මන්නාරම දූපත සීමාවේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසටත් දූපත අවට සීමාවේ ඛනිජ වැලි කණීම් නවත්වන ලෙසටත් ඉල්ලමින් මන්නාරමේ ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ (26) මන්නාරම නගර මධ්‍යයේ විරෝතාවල නිරතව සිටියහ.

මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර සෑදීම ආරම්භ කර ඇත්තේ 2020-2015 අතර කාලයේ දී ය. මේ වනවිට එහි සුළං විදුලි බලාගාර 30ක් ඉදිකර ඇති අතර එවකට ඒ සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුවූයේ ද නැත. සුළං විදුලි බලාගාරවලින් පරිසරයට හානියක් සිදුවන බවට ජනතාවගේ පාර්ශවයෙන් චෝදනා එල්ල වූයේ නැත.

නමුත් මේ වනවිට එම බලාගාරවලින්  මන්නාරමේ ජන ජීවිතයට දැඩි බලපෑම් ඇතිවෙමින් පවතින බව එහි පදිංචිකරුවෝ චෝදනා කරති. එහි ඉදිකරරන ලද ටර්බයින් සහ අනෙකුත් සම්බන්ධිත ඉදිකිරීම් හේතුවෙන් මන්නාරම දූපතේ එකතුවන ජලය මුහුදට ගලා යාම සීමා වී ඇති අතර වර්ෂා කාලයේ දී ඇතැම් ප්‍රදේශවල ජලය රැඳී මාස ගණනක් පැවතීම සාමාන්‍ය ජන ජීවිතයට බරපතල තර්ජනයක් වී ඇත. මේ සඳහා විදුලි බලාගාර පවත්වාගෙන යන සමාගම් හෝ රජය හෝ විසඳුම් ලබා දී නැත. එමෙන් ම පානීය ජල මූලාශ්‍ර බොහොමයක් මේ හේතුවෙන් දූෂිත තත්වයට පත්ව ඇති නිසා මන්නාරම දූපතේ අති විශාල පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාගැනීම දුෂ්කර වී තිබේ. මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටි ප්‍රදේශවල ජලය නිසි පරිදි බැස යාමට ටර්බයින් ආශ්‍රිත ඉදිකිරීම් බාධාවක් වන බැවින් ජලය එක්වීම ලෙඩරෝග බොහොමයකට හේතු වී ඇති බව ද ජනතාව පෙන්වා දෙයි.

එමෙන් ම මෙම ටර්බයින්වලින් උත්පාදනය කරන අධික ශබ්දය ඒ අවට පදිංචිකරුවන්ට දැඩි පීඩාකාරී වන අතර ඔවුන්ගේ තවත් චෝදනාවක් වන්නේ මේ ශබ්දය නිසාම මසුන්ගේ පැමිණීම ද අඩු වී ඇති බවයි. මේ නිසා ධීවර කර්මාන්තය බිඳ වැටී ඇති අතර ජලය නිසි පරිදි බැස නොයාම හේතුවෙන් කෘෂිකර්මාන්තයට ද විශාල හානියක් සිදුව ඇත.

මන්නාරම දූපත යනු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ ප්‍රථම සහ වැදගත් ම නවාතැන් ස්ථානයකි. නමුත් විශාල සුළං විදුලි බලාගාර ඉදිකිරීම හේතුවෙන් ඔවුන්ගේ පර්යටනයට දැඩි බාධා එල්ල වී ඇති බැවින් එවැනි සංචාරක පක්ෂීන්ගේ පැමිණීමේ අඩුවක් ඇති බවත් මේ නිසා සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වී ඇති බවත් පරිසර වේදීහු චෝදනා කරති.

ශ්‍රී ලංකාවේ බල ශක්ති අර්බුදයෙන් මිදීමේ තවත් එක් පියවරක් ලෙස පසුගිය රජය අදානිගේ සමාගම සමඟ ගිවිසුමකට එළැඹ තිබිණි. ඒ අනුව අදානිගේ සමාගම විසින් මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ටර්බයින් 200ක් අදානිගේ සමාගම විසින් ඉදිකිරීමට යෝජිත විය.

මේ වනවිට සුළං විදුලි බලාගාරවලින් සිදුව ඇති හානියේ තරම හොඳින්ම දැන සිටි මන්නාරමේ සිවිල් සංවිධාන සහ පොදු මහජනතාව ඊට එරෙහිව දැඩිි හඬක් නගන්නට වූ අතර එවකට විපක්ෂයේ සිටි වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය පොරොන්දු වූයේ තමන් බලයට පත්වූ පසු මන්නාරමේ ජනතාවට හානිවන ආකාරයේ කිසිම සුළං විදුලි බලාගාරයක් ඉදිනොකරන බවයි. එබැවින් පරිසරයට හානිකරන එම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති නවතා දමන බව ද ඔවුන් පොරොන්දු වූ බව ජනතාව සිහිපත් කරයි.

මේ අතර මන්නාරම් වෙරළ තීරයේ ඛණිජ වැලි කැණීම සදහා ඔස්ට්‍රේලියන් සහ ඉන්දියානු සමාගම්වලට අවසර ලබා දීමේ උත්සාහයනුත් ආරම්භ වී තිබිණි.

ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ අදානි සමාගම සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති අවලංගු කෙරිණි. නමුත් හේලීස් සමාගම සහ තවත් දේශීය සමාගමක් සමඟ සුළං විදුලි බලාගාර 14ක් සවිකිරීමේ කටයුතු දිගටම සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටලුව වෙනුවෙන් මන්නාරම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පසුගිය අගෝස්තු 13 වැනිදා සාකච්ජාවක් ද පවත්වා තිබිණි.

එහිදී මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් නැවත සළකාබලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත්, එම පොරොන්දු ඉටු වී තිබුණේ නැත.

දැනට ක්‍රියාත්මක සැලසුම් මාසයක කාලයකට නවතා ඉදිරියට කුමක් කළ යුතු ද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර තිබිණි. නමුත් මීට සති දෙකකට පෙර එම කමිටුවේ කාලය ද අවසන් විය. ඒ කාලය අවසන් වූ පසු නැවත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගිය මන්නාරම වැසියන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු දැනුම් දී ඇත්තේ කමිටුවේ වාර්තාව තවමත් ලැබී නොමැති බවයි. එම වාර්තාව ලැබුණු පසු එම කමිටුවේ නිර්දේශ මත සාකච්ඡා කර තීරණ දැනුම් දෙන බව ද අදාළ නිලධාරියා මන්නාරම ජනතාවට දැනුම් දී තිබිණි.

නමුත් එම වාර්තාවේ සඳහන් වන්නේ කවර නිර්දේශ ද යන්න හෝ සඳහන් නොකර ජනතාව සමඟ ඒ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොකර සුළං විදුලි බලාගාර පෙර සැළසුම පරිදිම ඉදිකරන්නට රජය තීරණය කර අදාළ කොටස් මන්නාරමට ගෙන ඒම ආරම්භ කර තිබිණි. ජනතාව ඊයේ (26) සිය විරෝධතාව දැක්වූයේ රජයේ එම ක්‍රියාකලාපයට එරෙහිවය.

ඊයේ වනවිට මන්නාරම ජනතාව විසින් සුළං විදුලි බලාගාරවලට එරෙහිව පවත්වන අඛණ්ඩ උද්ඝෝෂණ 55 වැනි දිනය දක්වාම දික්ගැස්සී තිබිණි.

ත්‍රිකුණාමලය වරායේ සිට මන්නාරම දූපත දක්වා ටර්බයින් කොටස් රැගෙන ආ වාහනවලට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවීම හේතුවෙන් එම වාහන මන්නාරම ප්‍රධාන පාලම අසළ නවතා දැමීමට රියදුරන්ට සිදුව තිබිණි. අදාළ භාණ්ඩ ආරක්ෂා කිරීමට පොලිසිය යොදවා ඇත.

මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් මෙසේ කීවේය.

“මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් වගේම ඉල්මනයිට් කැණීමට අවසර ලබාදීම තුළින් මෙහි ස්වභාවික පරිසරය සම්පූර්ණයෙන් ම විනාශ වෙනවා. ධීවර කර්මාන්තයටත්, කෘෂි කර්මාන්තයටත් හානි සිදුවනවා. ජල වහන රටාවන් සම්පූර්ණයෙන් ම විනාශ වෙලා ජලය පිරුණු පල් ජලය සහිත විනාශ වෙච්ච දූපතක් බවට මන්නාරම දූපත පත්වෙනවා. මෙය මන්නාරම දිස්ත්‍රික්කයේ ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන දෙයක්. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘති වහාම නතර කර දමන්න කියලා. දැන් කරන්න යන්නේ දෙවැනි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය. පළමු ව්‍යාපෘතිය නිසා මන්නාරම ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්වෙලා ඉන්නේ. මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මන්නාරමේ තවදුරටත් සුළං විදුලි බලාගාර ආරම්භ කරන්නේ නෑ කියලා. නමුත් දැන් එයාලා කරන්නේ නෑ කියපු දේ කරනවා. ඒ ගැන අපිට හරිම කළකිරීමක් තියෙනවා.”

මන්නාරම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන ඒ.පී.එෆ්. රෝජන් පවසන්නේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති කිහිපයක් ම මන්නාරමේ ආරම්භ කිරීමට රජය සැළසුම් කර ඇති බවයි. දැනට ටර්බයින් කොටස් රැගෙනවිත් ඇත්තේ මන්නාරම තාරාපුරම් සිට තාල්පාඩු ද්කවා වරෙළ සීමාවේ බලාගාර හතරක් සෑදීමට බවත් කොන්තෙයිකුඩිඉරිප්පු සහ පේසාලෙයි ප්‍රදේශයේත් තවත් බලාගාර ව්‍යාපෘති සැළසුම් කර ඇති බවත් හෙතෙම පවසයි.

“ශ්‍රී ලංකාවට එන සංචාරක පක්ෂීන්ට මේ සුළං විදුලි බලාගාර නිසා බාධා වෙනවා. දැන් එම පක්ෂීන් මන්නාරමට පැමිණීම අඩු වෙලා. වෙනදා සංචාරක පක්ෂීන් එන කාලේ දී මන්නාරම දූපත විදේශීය සංචාරකයන්ගෙන් පිරෙනවා අද සංචාරක කර්මාන්තයත් බිඳ වැටෙමින් තිබෙන්නේ. මේ විනාශයන් ගැන රජය අවධානය යොමු කරන්නේ නෑ. අපි ඉල්ලා සිටිනවා මන්නාරම දූපතත්, නගරයත් ආරක්ෂා කර දෙන්න කියලා.” හෙතෙම වැඩිදුරටත් කීවේය.

පරිසරවේදීන් පවසන්නේ බහු ජාතික සමාගම් කිහිපයක් මන්නාරම දූපත තුළ ඉල්මනයිට් ඇතුළු ඛනජ සම්පත් කැණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවයි. මේ නිසා මන්නාරමේ ජනතාවගේ පාරම්පරික ඉඩම් අහිමිවෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ද මන්නාරම තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන එකමුතුව විරෝධතා පැවැත්වූහ ඔවුන් චෝදනා කරන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ ඉතාමත් ඉහළ වටිනාකමක් ඇති ඉල්මනයිට් කැණීමට ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බහුජාතික සමාගමක් පිඹුරුපත් සකස් කරමින් සිටින බවයි. ඒ සඳහා බලපත්‍ර ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ද පවසමින් එම සංවිධාන විරෝධතාවක් ද පැවැත්වී ය.

ඛනිජ වැලි කැණීම ආරම්භ කළහොත් ධීවර කර්මාන්තයෙන් ජීවත් වන දිස්ත්‍රික්කයේ ජනතාවට සිය ධීවර කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව ද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ ගැටලුකාරී තත්වය හමුවේ දැන් මන්නාරම උණුසුම් වී තිබේ. මන්නාරම දූපතේ තවදුරටත් සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවසර නොදෙන බවත්, ඛනිජ වැලි කැණීමට ඉඩ නොදෙන බවත් පවසමින් රාජ්‍ය බලය ලබාගත් ජාතික ජන බලවේග රජය දැන් එදා කළ දේම ඉදිරියටත් කරගෙන යමින් සිටියි. රජය තවමත් මේ ගැන පැහැදිළි කිරීමක් කරන්නේ නැත.

ඡායාරූප – Gnanapragasam Mariyaseelan Seelan

Related articles

Recent articles

error: Content is protected !!