රැකියාවල නිරත කාන්තාවන්ගේ මාතෘ නිවාඩු දීමනාවල බරපැන සියල්ල රජය විසින් දැරිය යුතු යැයි යෝජනාවක් මෙවර අයවැයට ඉදිරිපත් කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය කටයුතු කර තිබේ.
වෙරිටේ රිසර්ච් ආයතනය මගින් පවත්වාගෙන යන Budget Proposal Hub වෙබ් අඩවියේ මේ යෝජනාව දක්නට ලැබෙන අතර එය දැනට ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළම මනාපය පළ වූ යෝජනාවක් බවට පත්ව ඇත.
රැකියාවල නියුතු කාන්තාවන්ගේ මාතෘ නිවාඩු දීමනාවල බරපැන මේ වනවිට දරනු ලබන්නේ ඔවුන් සේවය කරන ආයතන විසිනි. රාජ්‍ය ආයතනයක් නම් එය එම රාජ්‍ය ආයතනය විසසින් දරනු ලබන අතර පුද්ගලික ආයතනයක නම් එම බරපැන අදාළ ආයතනය හෝ සමාගම විසින් දැරිය යුතුය.
නමුත්, මෙම තත්වය හේතුවෙන් කාන්තාවන්ට බලවත් අසාධාරණයක් වන බව ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යාත්ක, ආර්ථික සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පර්යේෂණ සිදුකරන වෙරිටේ රිසර්ච් ආයතනය සිය පර්යේෂණ දත්ත මගින් පෙන්වා දෙයි.
වෙරිටේ රිසර්ච් පවසන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වර්තමානයේ අධ්‍යාපනික සහ කුසලතා අතරින් ඉදිරියෙන් සිටිය ද දරුවන් ලැබිය හැකි වයසේ, එනම සාඵල්‍යතා වයසේ පසුවන කාන්තාවන්ට රැකියා අවස්ථා ලැබීමේ හැකියාව පිරිමින්ට වඩා සාපේක්ෂව 50%කින් පමණ අඩුවන බවයි. මෙයට හේතුව වන්නේ දරුවකු ලබන කාන්තාවකට ප්‍රසූත කාලයේ නිවාඩු, වැටුප් සහ දීමනා ලබාදීම අදාළ ආයතනය විසින් සිදුකිරීමට වීම බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි.
මේ නිසා එම ආයතනය Budget Proposal Hub හි යෝජනාවක් ලෙස ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ මාතෘ නිවාඩුවල බරපැන සියල්ල රජය විසින් දැරිය යුතුය යන යෝජනාව ඉදිරිපත් කර ඇත. එයින් අපේක්ෂා කරන්නේ පුද්ගලික අංශයේ ආයතනවල දරුවන් ලැබීමේ වයසේ පසුවන කාන්තාවන් රැකියා සඳහා බඳවා ගැනීමට ඇති නොකැමැත්ත දුරු කර ඔවුන්ට වැඩි සේවා අවස්ථාවක් ලබාදීමයි.
ඔබට ද පහත සඳහන් සබැඳිය ඔස්සේ Budget Proposal Hub වෙත පිවිස මේ සඳහා ඔබේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.


