විවිධ හේතූන් මත අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කිරීම නවත්වන්න යැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පොලිිසය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
එම සංගමය සිය ලිඛිත ඉල්ලීම මගින් දැනුම් දී ඇත්තේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ දර්ශන නිකුත් කිරීමෙන් යුක්ති විනිශ්චය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසයට හානියක් ඇතිවන බවයි.
සියලු අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන නීතිය මගින් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටිවලට අනුකූලව දැඩි ලෙස සිදු කළ යුතු බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් පෙන්වා දෙයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් පටිගත කරන ලද ප්‍රකාශ හෝ “හඬ කැපීම්” බලහත්කාරයෙන් උපුටා ගැනීම සහ පසුව මෙම දර්ශන සහ හඬපට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වීම පිළිබඳව වෘත්තීය වෙබ් මාධ්‍යවෙීදීන් සිය කනස්සල්ල පළ කරයි.
යුක්ති විනිශ්චය ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ලවන එවැනි ක්‍රියාවන්ට පොලිසියේ නිහඬ අනුමැතිය ඇති බව පෙනෙන බවත්, ඒවා වෘත්තීය නොවන බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපයට හානි කරන බවත් වෙබ් මාධ්‍යවේදීන් ලිඛිතව දැනුම් දී ඇත.
“මෙම ක්‍රියාවන් විමර්ශන නිලධාරීන්ගේ වෘත්තීයභාවය පිළිබඳව බරපතල සැකයන් මතු කරන අතර පුළුල් අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය විනාශ කරයි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආයතනවලට දොස් පවරන බවට නිතර සිදුවන ප්‍රකාශයන්ට පටහැනිව, මෙම පටිගත කිරීම් බොහොමයක් බෙදා හැරීම සඳහා පොලිස් නිලධාරීන්ම වගකිව යුතු යැයි විශ්වාස කිරීමට හේතු ඇති බව ද වෙබ් මාධ්‍යවේදීන් පෙන්වාදෙයි. තහවුරු වුවහොත්, එවැනි හැසිරීමක් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වනු ඇතැයි එහි සඳහන් විය.


