24.5 C
Galle

පිරිමි උපත් වැඩි වුවත්, වැඩිපුර ගැහැනු ඉතිරිවන ශ්‍රී ලංකාව

Published:

ජනලේඛන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව පසුගිය 2024 වර්ෂයේ ජන සංගණනයේ දත්ත ප්‍රකාශයට පත්කර තිබේ.

එම දත්ත අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ අනුපාතය හෙවත් “පුමිතිරි අනුපාතය” හෙවත් ගැහැනුන් 100කට පිරිමින් සිටින අනුපාතය අඩු අගයක් ගන්නා බවයි. මෙම අගය සමස්ත ජනගහනය සැළකූ විට 93.3කි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ගැහැනු 100කට සිටින්නේ පිරිමි 93.3කි.

නමුත්, ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ වැඩිපුර උපත ලබන්නේ පිරිමි ළමයින් බවයි. වයස අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ දී පුමිතිරි අගය 100 ඉක්මවා තිබේ.  

අනුව පෙනී යන්නේ දරු උපත්වල දී වැඩිපුර පිරිමි ළමයින් උපත ලැබුව ද වයස්ගත වීමේ දී පිරිමි ගැහැනු ගහනය පිරිමි ගහනයට වඩා වැඩි අගයක් ගන්නා බවයි.

මෙවර ජන සංගණනයේ දත්ත අනුව 19ට අඩු වයස් කාණ්ඩයේ දී පුමිතිරි අනුපාතය 100 ඉක්මවා ඇත. එනම් ගැහැනු ළමයින්ට වඩා පිරිමි ළමයින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ජනගහනය තුළ එම වයස් කාණ්ඩයේ සිටිති.

එසේ වුවද, අවුරුදු 40ට වැඩි සියලුම වයස් කාණ්ඩ සඳහා, එනම් වයස්ගත වීමත් සමඟ පුමිතිරි අනුපාතය ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරයි.  එනම් ගැහැනු සංඛ්‍යාව පිරිමි සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත.

විශේෂයෙන් වයස අවුරුදු 70 හා ඊට වැඩි වයස් කාණ්ඩය, අඩුම පුමිතිරි අනුපාතිය වන 69.8ක අගය පෙන්නුම් කරයි. වයස අවුරුදු 70ට වැඩි ජනගහනය සැළකූ විට ගැහැනු 100කට සිටින්නේ පිරිමි 69.8කි. මේ අනුව කරුණු කිහිපයක් ම විශ්ලේෂණය කරගැනීමට හැකිවේ. ඒ අනුව පෙනී යන්නේ පිරිමින්ට වඩා ගැහැනු දීර්ඝායුෂ ලබන බවයි. එමෙන්ම වැන්දඹු කාන්තාවන් සංඛ්‍යාව ද එම වයස් වෙද්දී අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මෙවර සංගණනයේ දී 97.9ක වැඩිම පුමිතිරි අනුපාතයක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කරයි. ඒ අනුව සමස්ත ජනගහනය සැළකූ විට වැඩිම පිරිමි අනුපාතය සිටින්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව ගැහැනු 100කට පිරිමි 97.9කි. දෙවනුව වැඩි අගයයක් එනම් 97.3ක් වාර්තා වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙනි.

එමෙන්ම අඩුම පුමිතිරි අනුපාතය වාර්තා වන්නේ නැගෙනහිර මඩකළපුව දිස්ත්‍රික්කයෙනි. එහි පුමිතිරි අගය 88ක් හෙවත් ගැහැනු 100කට පිරිමි සිටින්නේ 88කි.

පුමිතිරි අගය යනු ඉතාමත් වැදගත් ජනවිකාශ දර්ශකයකි. එය සමාජ ආර්ථික අංශ කෙරෙහි බලපාන අතර දිගුකාලීන ජනගහන ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයකි. ඕනෑම සත්ව ගහණයක් සැළකූ විට ස්ත්‍රී සත්වයන් වැඩි ප්‍රමාණයක් සිටීම යනු එම ගහණය අඛණ්ඩව වර්ධනය වීමට බලපාන ප්‍රධාන සාධකයකි.

2012 සංගණනයේ දී වාර්තා වූ ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතය 93.8ක් වන අතර, 2024 සංගණනයේ දී වාර්තා වන පුමිතිරි අනුපාතය 93.3කි. ඒ අනුව පෙනී යන්නේ 2012 සිට 2024 දක්වා ගත වූ වසර 12ක කාලයේ දී පුමිතිරි අගය ඒකක 0.5කින් අඩු වී හෙවත් ගැහැනු ප්‍රමාණය පිරිමි ප්‍රමාණය ඉක්මවා තවත් 0.5කින් වර්ධනය වී ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!