27.5 C
Galle

ගාල්ලේ උද්ඝෝෂණයේ කැපී පෙණුනු අයකුගේ එළවළු වෙළඳ සැළට ගිනි තබලා

Published:

ගාල්ලේ දී ඊයේ (04) පැවැති උද්ඝෝෂණයේ දී කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රවීන්ද්‍ර ජාගොඩට අයත් එළවළු වෙළෙඳ සැළට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

මෙම වෙළෙඳ සැළ ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ හෝලුවාගොඩ වෙල් යාය අසළ පිහිටා තිබේ.

හෝලුවාගොඩ සහ ඒ අවට ගොවීන්ගේ එළවලු , පලා අස්වැන්න මෙම කුඩා අලෙවි සැළේ අලෙවි කරන ලද අතර මාර්ගයේ ගමන් ගත් බොහෝ පාරිභෝගිකයින් එළවලු මිලදී ගැනීම සඳහා ගොඩවූ ස්ථානයකි.

රවීන්ද්‍ර ජාගොඩ පාරම්පරික එජාප පවුලක සාමාජිකයෙකි. මනුෂ නානායක්කාර මහතාගේ මුල් කාලීන ආධාර කරුවෙකු වූ ජාගොඩ පසුව ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර (රත්තරං) ගේ ආධාර කරුවෙකු විය. ඔහුගේ පළාත් සභා මන්ත්‍රී කාර්ය මණ්ඩලයට ද එක්ව සිටියේය.

ක්‍රිශාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා සමග එක්වද්දී ජාගොඩද ඒ සමග විය.

එතැන් පටන් පසුගිය මැතිවරණය දක්වාම ඔහු කටයුතු කළේ මහින්ද පිළ දිනවීමටය. වෛද්‍ය රමේෂ් පතිරණගේ මැතිවරණ වේදිකාවල ආකර්ෂණීය කථිකයෙකු වූ ජාගොඩ ප්‍රාදේශීය සභා මැතිවරණයේ පොහොට්ටුවේ බෝපෙ – පෝද්දල සමගාමී ලැයිස්තුවේ අපේක්ෂකයෙකුද වූයේය.

ජාගොඩ ප්‍රදේශයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකි.

පසු කළෙක හෝලුවාගොඩ ගොවි බිම් එළවලු වගාව සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු අතරේ බෙදා දීමේදී දේශපාලන මැදිහත් වීමකින් ඔහුටද බ්ම් තීරුවක් ලැබිණි. එහි එළවලු වගාකරමින් ඒ ඉදිරිපිට එළවලු අලෙවි කුටිය පවත්වාගෙන ගියේය. ප්‍රදේශයේ ගොවීන්ගේ එළවලු එහි තබා අලෙවි කළේ සුළු ලාභයක් ලබමිනි.

මේ ගිණි තබා ඇත්තේ ඒ එළවලු වෙළඳ කුටියටය.

ඊයේ (04) දහවල් ගාල්ලේ පැවැති ආණ්ඩුවට විරෝධය පළ කල මහජන උද්ඝෝෂණයට තමන්ගේ සහභාගීත්වය නොඉවසූ කිසියම් පිරිසක් මේ ගිණි තැබීම සිදු කර තිබෙන බව රවීන්ද්‍ර ජාගොඩ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් පෝද්දල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

Related articles

error: Content is protected !!